රෝගීන්ට බෙහෙත් දෙනගමන් මත්කුඩු අලෙවි කළ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෙරොයින් සමග මාට්ටු

593

පොලිස් අණ නොතකා පැමිණි වෛද්‍යවරයා වෑන් රථයේ අගුළු දමාගෙන සැඟවිලා

හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වන දැනට අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු හෙරොයින් මත්කුඩු සමග පෙරේදා(04දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුබුදුපුර පාර, දහයියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67 වන වෛද්‍යවරයෙකු බව පොලිසිය කියයි. සැකකාර වෛද්‍යවරයා විසින් පාසල් ළමුන්ට සහ තරුණයන්ට මත් පෙති හා මත්කුඩු අලෙවි කරන බවට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව, දැඩි පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. සැකකාර වෛද්‍යවරයා ඇදුම, පීනස සහ අංශභාගය වැනි රෝගවලට අනුරාධපුර නව නගරයේ, පළමු පටුමගේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, ඒ අතර වාරයේදී නිවසේදී මෙම මත් මත්කුඩු සහ මත්පෙති වෙළඳාම සිදු කරන බවත් පොලිසිය කියයි.

විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් අනුරාධපුර දහයියාගම මංසන්ධියේදී සැකකාර වෛද්‍යවරයාගේ වෑන් රථය නතර කරන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කර, ඔහුගේ නිවස අසලට ගොස් වෑන් රථයේ දොරවල් අගුළු දමාගෙන වෑන් රථයේම සැඟව සිටි බව පොලිසිය කියයි. අනතුරුව එම වෛද්‍යවරයාගේ පුත්‍රයා සහ බෑනා පැමිණ වෑන් රථයේ අගුළු ඉවත් කිරීමෙන් අනතුරුව වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙසිය හැත්තෑවක් සොයා ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා ඊයේ (05දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො. පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර, පො.සැ. බණ්ඩාර(48317), පො.සැ. නිශාන්(61406), පො.කො.රාජරත්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment