රෝගීහු කබලෙන් ළිපට

125

ඉල්ලීම් 09 ක් මුල් කරගෙන සෞඛ්‍ය සේවා වෘත්තීන් 18ක් ඊයේ (07දා) ක‍්‍රියාත්මක කළ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල හෙද සත්කාරක සේවා, බාහිර රෝග අංශ සායනවලින් බෙහෙත් නිකුත් කිරීම, ලේ, මුත‍්‍රා ඇතුළු රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ මෙන්ම සෞඛ්‍ය ආයතන මට්ටමින් සිදු කෙරෙන ඩෙංගු මර්දන කටයුතු හා පීසීආර් සහ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ඇනහිට තිබු බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වෙත ඊයේ ප‍්‍රතිකාර සඳහා පැමිණි දහස් සංඛ්‍යාත රෝගීන්ට බාහිර රෝගී අංශ සායනවලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකි වූ අතර තවත් විශාල පිරිසකට රසායනාගාර හා විකිරණ පරීක්ෂණ සිදුකර නොගෙනම නිවෙස් බලා යෑමට සිදුව තිබේ.

රෝගීහු කබලෙන් ළිපට

වර්ජනය හේතුවෙන් රෝහල්වල හෙද සත්කාර සේවාවන්, ඊ.ඊ.ජී. සහ ඊ.සී.ජී. පරීක්ෂණ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ඩෙංගු මර්දන හා කොරෝනා මර්දන කටයුතු මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සිදු කරන සේවා කටයුතු ඇනහිට තිබෙන බව එම ආරංචිමාර්ග සඳහන් කළේය.

රජයේ රෝහල්වල හෙද හෙදියන්, පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයන් හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් 65,000ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. ගුරු සේවාවට සිදු කළ වැටුප් වැඩිවීම මත සෞඛ්‍ය සේවාවන් තුළ මතු වී ඇති වැටුප් විෂමතාව නිවැරදි කිරීම, 2021 ජුලි මස 05 වැනිදා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද වසර 12ක සේවා කාලයකින් පසු පළමු පන්තියට උසස් කිරීමේ සේවා ශ්‍රේණි උසස්වීම් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබූ රනුග්ගේ වැටුප් කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීම, සියලූ සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන සෞඛ්‍ය පරිපාලන සේවය ස්ථාපිත කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000 ක් ලෙස වැඩිකිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, බෙහෙත් මිල අඩු කිරීම, පාසල් දරුවන්ට මාස්ක් ඇතුළු කොරෝනා පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල් කරගෙන මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය සඳහා බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා, මහරගම අපේක්ෂා, මාළිගාවත්ත ජාතික වකුගඩු,පොළොන්නරුව වකුගඩු, පානදුර කේතුමතී මාතෘ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා, බොරැුල්ල, කාසල්වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහමෝදර මාතෘ යන රෝහල් හා මධ්‍යම ලේ බැංකුවේ සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයන් සහභාගී කර නොගන්නා බව ද, වර්ජනය ක‍්‍රියාත්මක වන කාලසීමාවේදී රෝහල්වල හදිසි සේවාවන් පමණක් සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කෙරෙන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල සායනවලින් බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු වර්ජනයෙන් අඩාළ වී තිබීම හේතුවෙන් ප‍්‍රධාන පෙළේ රජයේ රෝහල්වල සායන රෝගීන් සඳහා රෝහල් ආසන්නයේ පවතින රජයේ ඔසුසල්වලින් බෙහෙත් නොමිලයේ නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණද දුර බැහැර ප‍්‍රදේශවල රජයේ රෝහල් ආසන්නයේ රජයේ ඔසුසල් නොතිබීම නිසා එම ප‍්‍රදේශවල රෝගීන්ට එම පහසුකම ලබා ගැනීමට නොහැකි වී තිබිණි.

මෙම වර්ජනය දිගටම පැවතියහොත් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර්. හා රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ තවත් අඩුවනු ඇති බව ද සෞඛ්‍ය අංශ කියයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment