රෝගී ජීවිත මකර කටේද?

502

කලක් පිළිගැනුනේ සෞඛ්‍යය යනු ශාරීරික නිරෝගි භාවයයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් අර්ථකථනයන්ට අනුව ශාරීරික මෙන්ම මානසික නිරෝගීතාව සෞඛ්‍ය ලෙස සැලකේ. ඒ අර්ථයෙන් ගත්කල අප රටේ සමබර සෞඛ්‍යයක් පවත්වාගෙන යනුයේ අතලොස්සක් පමණි. පවතින උද්ධමනය සහ ආර්ථික දරිද්‍රතාව හමුවේ අප රටේ බහුතරය ලෙඩවී තිබේ. දරුවාට තුන්වේල කන්න දීම, පාසල් යැවීම මෙන්ම දරුවන්ගේ සෙසු අවශ්‍යතා ඉටුකිරීමට නොහැකිව ළතැවෙන අපේ දෙමාපියන්ගේ ජීවිත අතිශය දුක්ඛදායී තත්ත්වයට පත්ව ඇත.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මන්දපෝෂණය අප රටේ දරුවන් වෙලා ගනිමින් පවතින බව සෞඛ්‍ය අංශ පසුගිය දිනවල එක දිගට පෙන්වා දුන්හ. මෙම තත්ත්වය දිගින් දිගටම උග්‍රවීම තුළ අවසානයේ අප රටට ඉතිරි වනුයේ සෞඛ්‍ය සම්පන්න නොවන දරු පරපුරකි. රටක්, ජාතියක් ලෙස අප මුහුණ දී සිටින ඛේදවාචකය සුළුවෙන් තැකිය නොහැකි අතර ඊට කඩිනමින් විසඳුම් ලබා නුදුනහොත් අනාගතයේදී යම් දවසක අප රට ගොඩනැගීමට හෝ නව පරපුරක් ඉතිරි නොවනු ඇත.

අප රට විවිධ අවස්ථාවලදී නොයෙක් අර්බුදවලට මුහුණ දුන්නද අප රටේ නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවද ඉහළ මට්ටමක පැවතුණ බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. නමුත් අද වන විට අපේ නිදහස් සෞඛ්‍ය සේවාව දිනෙන් දින කඩා වැටෙන අයුරු දැකිය හැකිය. අද බොහෝ රජයේ රෝහල්වල බෝනොවන රෝග සඳහා දෙනු ලබන ඖෂධ පවා හිඟ බවට රෝගීන් නගන මැසිවිලි අනන්තය. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනු ලබන්නේ මහරගම අපේක්‍ෂා රෝහල ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ප්‍රධාන පෙළේ රෝහල් පහළොවක පමණ පිළිකා නාශක ඖෂධ වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවයි. මෙම තත්ත්වය හමුවේ බොහෝ පිළිකා රෝගීන්ට නියමිත කාලසටහනට අනුව ප්‍රතිකාර ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යැවූ ලිපියක සඳහන්ය.

තමන්ට පිළිකාවක් සෑදී ඇති බවට යම් පුද්ගලයකු දැනගත් මොහොතේම ඔහු මානසිකව පත්වන කම්පනය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කෙසේ හෝ අවසානයේදී එවැනි රෝගියකුට යම් ප්‍රමාණයකට හෝ අස්වැසිල්ලක් ලැබෙනුයේ තමාගේ රෝගී තත්ත්වයට නිසි අයුරින් නිසි මාත්‍රාවට ඖෂධ ලබාගැනීමෙන් මෙම රෝගී තත්ත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදිය හැකි බවට ලැබෙන සහනය පමණි. එනිසා අහිංසක පිළිකා රෝගීන්ගේ ජීවිත අපේක්‍ෂාවන් බිඳ නොදමා ඔවුනට අවශ්‍ය ඖෂධ ලබාදීම සෞඛ්‍ය ඇතුළු සෙසු නිලධාරීන් වගකීමකි.

තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශල්‍යකර්ම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් නිසාවෙන් රෝගී ජීවිත හෘද ස්පන්දනය වැඩි වී තිබේ.

සෞඛ්‍ය ඇමැතිවරයා රෝහල්වලට දැනුම්දී ඇත්තේ හදිසි සහ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම තාවකාලිකව ප්‍රමාද කරන ලෙසයි. පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟය නිසා මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බදුල්ල ඌව පළාත් මහා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනු ලබන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම, අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම හෝ අත්‍යවශ්‍ය පරීක්‍ෂණ, අත්‍යවශ්‍ය නොවන පරීක්‍ෂණ ලෙස වර්ගීකරණය කිරීම පදනම් විරහිත බවයි. ශල්‍යකර්ම නිසි වේලාවට නොකිරීමෙන් ඕනෑම මොහොතක රෝගියාගේ ජීවිතය අවදානමට ලක්විය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි. තමන්ට සිදුකිරීමට නියමිත ශල්‍ය කර්මයන් නොකර කල්දැමීම හරහා රෝගියාට ඇතිවන්නේ දැඩි මානසික පීඩනයකි. එවැනි තත්ත්වයක් තුළ රෝගියා ආතතියට ලක්වීම වැළැක්විය නොහැක.

රටේ උග්‍ර මූල්‍ය අර්බුදයක් තිබියදී මෙවැනි තත්ත්වයන්ට මුහුණ දිය හැකි බවට කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය වැනි අතිශය සංවේදී කාරණාවලදී එවැනි ගොන් තර්කවලින් ඵලක් නොවන බවයි. එවැනි සංවාද ගොඩනැගීමට යන කාලයේදී පවා රෝගී ජීවිත දහස් ගණනක් අවදානමට ලක්විය හැකිය. රජයේ අනවශ්‍ය උත්සව වියදම්, කැබිනට් මණ්ඩලය පුළුල් කිරීම, හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම වැනි අත්‍යවශ්‍ය නොවන වියදම් හෝ කපාහැර රෝගීන්ගේ ජීවිත සුරක්‍ෂිත කරන්නැයි අපි මහත් ඕනෑකමින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. රෝගී ජීවිත මකර කටට නොයැවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම අදාළ සියලු පාර්ශ්වවල වගකීමක් බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment