රෝහල්වල සී.ටී. ස්කෑන් යන්ත්‍ර ලෙඩ වීම කුමන්ත්‍රණයක්? – විමර්ශනයක් ඇරැඹෙයි

314

කොළඹ ජාතික රෝහලේ සහ තවත් ප්‍රධාන පෙළේ රජයේ රෝහල් කීපයක සී. ටී. ස්කෑන් යන්ත්‍ර නිතර නිතර අක්‍රීය වීම පිටුපස කිසියම් සංවිධානාත්මක යටි අරමුණක් ක්‍රියාත්මක වේදැයි යන්න සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීමත් සමග ම එක්තරා පෞද්ගලික රෝහලක් විසින් මෙම රජයේ රෝහල්වල ස්කෑන් පරීක්‍ෂණ වට්ටම් සහිතව සිදු කරන බවට ප්‍රචාරයක් ලබාදෙන බව ද වාර්තා වෙයි.

රෝහල් බලධාරීන් පවසන්නේ මෙම ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම සහ පෞද්ගලික රෝහල මගින් එම ස්කෑන් පරීක්‍ෂණ වට්ටම් ලබාදෙමින් සිදු කරනු බවට රජයේ රෝහල් වල ප්‍රචාරයක් ලබාදීම පිටුපස කිසියම් සම්බන්ධයක් තිබිය හැකි බවයි.

තලවතුගොඩට නුදුරුව පිහිටි එක්තරා පෞද්ගලික රෝහලක් මගින් වට්ටම් ලබාදෙමින් සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ සිදු කරන බවට රජයේ රෝහල්වලට පැමිණ එහි සිටින රෝගීන් අතර ප්‍රචාරයක් ලබාදෙමින් සටින බවද වාර්තා වෙයි.

කොළඹ ජාතික රෝහලේ බලධාරියකු දිවයිනට පැවසුවේ ජාතික රෝහල තුළ සී. ටී ස්කෑන් යන්ත්‍ර 3ක් තිබෙන බවත් ඒවා නිතරම අක්‍රිය වන බවත්ය.

මෙම සී. ටී ස්කෑන් යන්ත්‍ර මගින් දිනකට සී. ටී ස්කෑන් පරීක්‍ෂණ 30කට ආසන්න ප්‍රමාණයක් සිදු කරන බව ද එම බලධාරීහු පවසති.

එක් සී ටී ස්කෑන් පරීක්‍ෂණයක් වෙනුවෙන් පෞද්ගලික රෝහල් රුපියල් හැටදහසක පමණ මුදලක් අය කරන බවද එම බලධාරීහු කියා සිටිති.

නොමිලයේ මෙම පරීක්‍ෂණ කර ගැනීමට පැමිණෙන අහිංසක දුප්පත් රෝගීන් මේ හේතුව නිසා දැඩි අසරණ තත්ත්වයට පත්වන බවද රජයේ රෝහල් බලධාරීහු පවසති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment