රෝහල්වල 20 වැනිදා උද්ඝෝෂණ

191

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල ලබන 20 වැනිදා දහවල් 12.00 සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව හා දීමනා නතර කිරීම, රෝගී සත්කාරක සේවා සඳහා වන උග්‍ර ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ගැටලුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ රෝගී ජනතාවගේ ආහාර වට්ටෝරුව වෙනස් කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව එම සම්මේලනය ඊයේ (15 දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, මහින්ද ගුරුගේ මහතා මෙසේ පැවසීය. කොළඹ, මහනුවර, කළුබෝවිල, බදුල්ල, අම්පාර ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල දී ආරම්භ කරන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පළාත් රෝහල් දක්වා ව්‍යාප්ත කිරීමටත් අප තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව රෝගීන් දැනුවත් කිරීම් සිදු කිරීමටත් අපි කටයුතු කරනවා. රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය තමයි මේ අර්බුදයන්ට හේතුවී තිබෙන්නේ. අද ළමා වැඩිහිටි රෝගීන්ට දෙන ආහාර වට්ටෝරුව පෝෂ්‍යදායී නැහැ. පොල් සම්බෝලයි බතුයි විතරයි ලබා දෙන්නේ. ඉන්ධන ප්‍රශ්නය නිසා සෞඛ්‍ය සේවකයන්ට රාජකාරියට යන්න බැහැ. අපට තෙල් දෙන්න කියලා අමාත්‍යාංශය ෂෙඩ්වලට ලියුම් දුන්නට ඒ අය අපට තෙල් දෙන්නේ නැහැ. සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කළාට මේ තත්ත්වය යටතේ අපි කොහොමද රෝගීන් වෙනුවෙන් රාජකාරිය කරන්නේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment