රෝහල් කඩා වැටීමේ අවදානමක – වෛද්‍යවරු 700ක් රට හැර ගිහින්

215

විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෑම අංශයකටම අයත් වෛද්‍යවරුන් හත්සියයකට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති නිසා පර්යන්ත රෝහල් පද්ධතිය කඩාවැටීමෙන් රෝගී ජනතාව දිනෙන් දින දැඩි අපහසුතාවයට පත්වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

මෙම තත්ත්වය හමුවේ ඇඹිලිපිටිය, තිස්සමහාරාමය, දෙහිඅත්තකණ්ඩිය, මොනරාගල, කිලිනොච්චිය, නුවරඑළිය ඇතුළු රෝහල් රැසක සේවාවන් අකර්මන්‍ය වීමෙන් දුෂ්කර පළාත්හි ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන් තව දුරටත් රටෙන් පිටවෙමින් සිටියත්, එම තත්ත්වය නියාමනය කරමින් රටට ඩොලර් ආදායමක් ලබාගැනීමට හැකියාව පැවතියත් රජය ඒ පිළිබඳව නිවැරදි දැක්මකින් කටයුතු නොකිරීමෙන් විදේශගත වූ වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණීම ද දැඩි අවිනිශ්චිතතාවයක පවතින බවත් ඒ හේතුවෙන් මෙරට රෝහල් පද්ධතියේ වෛද්‍ය අර්බුදය තවත් උග්‍ර අතට හැරෙමින් පවතින බවත් වෛද්‍යවරයා පැවසීය.

කෙසේ වුවත් සෑම අංශයකටම අයත් මෙරට වෛද්‍යවරුන් 90% ක්ම තවදුරටත් රටේ රැඳී සිටින නිසා වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අපේක්‍ෂා වැඩිකිරීම, ඖෂධ හිඟයට පිළියම් යෙදීම, වෛද්‍ය ආරක්‍ෂාව ස්ථාපිත කිරීම සහ බදු ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය මූලිකත්වය ලබාදෙන්නේ නම් මෙරට රෝහල් පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි ද, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment