රෝහල් රැසක සී. ටී. ස්කෑන් යන්ත්‍ර කොට උඩ

151

රෝගී ජීවිත මරුකටේ
අපේක්‍ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයත් කැඩිලා

කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් රැසක සී. ටී. ස්කෑන් යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් රෝගී ජීවිතවලට දැඩි අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මීට අමතරව මහරගම අපේක්‍ෂා රෝහලේ පවතින ‘ස්වයක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයද වසරක කාලයක සිට අක්‍රීය වීමෙන් ඊයේ (05දා) සිට භාවිතයෙන් ඉවත්කර තිබිණි.

අදාළ යන්ත්‍රය සඳහා භාවිත කෙරෙන ‘සම්බන්ධීකරණ කැතීටර’ ලබානොදීම නිසා කෝටි ගණනක මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇතැයිද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවැසීය.

මෙම ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයෙන් (Automatic Dose Drawer) එෆ්.ඩී.ජී. නමැති ඖෂධය රෝගීන්ට එන්නත් කරන බවත් එම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ විකිරණ තාක්‍ෂණවේදීන් අවම කිරීම සඳහා වුවත් මේ වනවිට එම යන්ත්‍රයෙන් සිදුකරන කාර්යය නැවත ‘දෑතින්’ සිදුකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට රෝහල් රැසක අක්‍රීයව පවතින ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග ලබානොදීම නිසා රසායනාගාර රැසක හොඳින් ක්‍රියාත්මක කළ හැකි කෝටි ගණනක් වටිනා ජීව රසායන, රක්තවේද සම්පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයටම පත්ව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

සෞඛ්‍ය සේවාවට උපාංග මිලදී ගැනීමේදී ‘මාෆියාවන්’ ක්‍රියාත්මකවීම නිසා ඇතැම් නිලධාරීන් සහ විශේෂඥයන් කොමිස් ලබාගැනීමේ අරමුණින් එයට සහාය ලබාදෙන බවත් එසේ වුවත් එම උපකරණ නඩත්තු නොකරන බවත් රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

රෝහල්වලට අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීමේදී විකිරණ තාක්‍ෂණවේදී නිලධාරීන් එම තාක්‍ෂණික ඇගයීම් කමිටුව සමඟ අදහස් හුවමාරු කර නොගැනීමෙන් ජනතා මුදල් විශාල ලෙස අවභාවිත වන බවද ඒ මහතා සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment