රෝහල් වැඩ වර්ජනය නිසා මහත්තයාගේ ලේ පිරිසිදු කර ගන්න බැරිව මියගියා

339

සැමියා රෝහලේ නතර කළත් රෝහල් සේවකයන්ගේ වර්ජනය නිසා මහත්තයාට රුධිර කාන්දු පෙරණය කරගැනීමට බැරිවුණා. රුධිර කාන්දු පෙරණය කරගැනීමට හැකිවූවානම් මහත්තයා තවදුරටත් ජීවත්කර ගැනීමට හැකි බව මගේ දැඩි විශ්වාසය යැයි රුධිර කාන්දු පෙරණය කරගැනීම සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ නතරව සිටියදී මියගිය දෙදරු පියකුගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය අයගේ බිරිඳවන මුදලිගේ දොන් බර්ටි කල්‍යාණි ජයවීර (53) නමැත්තිය එසේ කීවාය.

මියගොස් ඇත්තේ පේදුරුහේවගේ රංජිත් (55) නමැති අමරකීර්තිගම, බොරකන්ද කරන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි මහවැලි අධිකාරියේ සේවය කරමින් සිටි ඉඩම් නිලධාරියෙකි. මියගිය ඉඩම් නිලධාරියාගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා (09* ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.

සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවාය.

මියගොස් ඇත්තේ මගේ සැමියා. අපිට දරුවන් දෙදෙනකු ඉන්නවා. මහත්තයාට දැනට වසර 18ක සිට දියවැඩියාව තියෙනවා. දැනට වසර එකහමාරක සිට හෘද හා අක්මා රෝගි තත්වයක් ආවා. මේ හැම රෝගයකටම ප‍්‍රතිකාර ගත්තා. රෝහල්වල නතර වෙලත් හිටියා. සායනවලටත් ගියා. රෝග තිබුනත් ප‍්‍රතිකාර අරගෙන සාමාන්‍ය විදියට වැඩකරගෙන හිටියා. ඉකුත් වර්ෂයේ 2021 ජනවාරි මාසයේ සිට මහත්තයාට සතියෙන් සතිය රුධිර කාන්දුපෙරණය කළා. දැනට මාස තුනක පමණ කාලයක සිට සතියට දෙවතාවක් රුධිර කාන්දු පෙරණය කළා. ඉකුත් 30 වැනි දින මහත්තයාට කරපු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු පොසිට්ව් වෙලා තිබුණා. දින දෙකක් රෝහලේ ඉදලා නිවසට ගියා. පසුව දින තුනකට පසු කරාපිටිය රෝහලට ඇවිත් රුධිර කාන්දු පෙරණය කරගෙන ගියා. ඊට පස්සේ ඉකුත් 08 වැනිදි රුධිර කාන්දු පෙරණය කිරීම සඳහා කරාපිටිය රෝහලට ආවා.

රෝහල් සේවකයන්ගේ වර්ජනය නිසා රෝහලේ නතරවෙන්න කියා උපදෙස් දුන්නා. ඒ අනුව රෝහලේ 12 වාට්ටුවේ මහත්තයා නතර කළා. මහත්තයා රෝහලේ නතර කළත් රෝහලේ සේවකයන්ගේ වර්ජනය නිසා මහත්තයාට රුධිර කාන්දු පෙරණය

කරගැනීමට බැරිවුණා. එදින දහවල් හා රාත‍්‍රි ආහාරත් මහත්තයා අරගෙන තිබුනා. රාත‍්‍රි 7.30ට විතර මහත්තයා මාත් සමග දුරකථනයෙන් කථා කළා. රාත‍්‍රි 9.00ට විතර මහත්තයාගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියා දුරකථන ඇමතුමක් ලබාදෙමින් කීවා මහත්තයා මියගියා කියලා. මරණය ගැන සැකයක් නැහැ. නමුත් රුධිර කාන්දු පෙරණය කරගැනීමට හැකිවුවානම් මහත්තයා තවදුරටත් ජීවත් කරගැනීමට හැකි බව මගේ දැඩි විශ්වාසයයි.

පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකෙරිණි. මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment