රෝහලේ පවුල් සැලසුම් එන්නත ෆාමසියේ විකුණලා

417

* නුවරඑළියේ සෞඛ්‍යසේවා දොස්තර ගැන පරීක්‍ෂණයක්

නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය යටතේ පාලනය වන ප‍්‍රාදේශීය රෝහලක සේවයේ නියුතුව සිටි වෛද්‍ය නිලධාරියෙකු පවුල් සැලසුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලබන එන්නත් ඔහු විසින් බගවන්තලාව නගරයේ පවත්වාගෙන ගිය පෞද්ගලික බෙහෙත් ශාලාවකදී එන්නත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් මේ වන විට පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

එම වෛද්‍ය නිලධාරියා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය පෞද්ගලික බෙහෙත් ශාලාවකදී එම එන්නත මුදලට ලබා දී එම එන්නතේ අලවා ඇති ස්ටිකරය එන්නත ලබාගත් කාන්තාවට ලබාදුන් කාඞ්පතේ අලවා ඇත.

වෛද්‍යවරයා අදාළ රෝහලෙන් වෙනත් රෝහලකට ස්ථාන මාරුවක් ලබා ගෙන යෑමෙන් අනතුරුව එන්නත ලබාගත් කාන්තාවන් එම එන්නත යළි ලබා ගැනීම සඳහා බගවන්තලාව රෝහලට පැමිණි අවස්ථාවේ කාඞ්පතේ අලවා ඇති ස්ටිකරය පරික්‍ෂා කිරීමේදී බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන්ට ඒ බැව් තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් අප බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරි ඒ. එස්. කේ. ජයසූරිය

මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ඖෂධ ගබඩාවෙන් නිකුත් කරන ලද එම එන්නතට අදාළ ඛාණ්ඩ අංකය කාඞ්පතේ සඳහන් නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

වැඩි විස්තර නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ලබා ගන්නා ලෙසද බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment