රෝහිණීට ඡන්ද 78 යි ඡන්ද 109ක් ලබා අජිත් රාජපක්ෂ නි. කථානායක පුටුවට

181

පක්ෂ 11 මන්ත්‍රීවරු ඡන්දය කටුගා දමති

හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109ක් ලබා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායක ලෙස ඊයේ (17දා) තේරී පත්විය.

ඔහු සමග තරග කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ඡන්ද 78ක් ලැබුණු අතර අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 23 කි.

එහිදී ශ්‍රීලනිප සහ විමල්, උදය, වාසුදේව ඇතුළු පක්ෂ 11ක නියෝජිතයෝ සිය ඡන්දය කටුගා දමන බව පැවසූහ. නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙක් සහභාගි නොවූහ.

හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා නැවත වරක් නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමට සිදු වූ අතර එය ප්‍රමුඛ කටයුත්තක් ලෙස සලකා කථානායකවරයා ඊයේ පෙරවරුවේම ඒ සඳහා ඉඩ සලසා දුන්නේය. ඒ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වහාම නැගිට රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.

අනතුරුව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර, සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා එය ස්ථිර කළේය.

එහිදී විමල් වීරවංශ, නිමල් ලංසා යන මන්ත්‍රීවරු නැගී සිට පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකොට ඒකමතිකව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගන්නැයි ඉල්ලා සිටියහ. ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර මහතා ද නැඟිට කියා සිටියේ දෙපාර්ශ්වය සාකච්ඡා කොට එක් නමක් ඉදිරිපත් කරන ලෙසය. එහිදී විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා රෝහිණී කවිරත්න මහත්මිය එම තනතුරට සුදුසුම කෙනා යැයි කීවේය. මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා කියා සිටියේ ඡන්දයකින් තොරව නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත්කරගන්නා ලෙසය.

චමින්ද විජේසිරි, සමන්ප්‍රිය හේරත්, මුජිබර් රහුමාන්, ජේ. සී. අලවතුවල, එස්. එම්. මරික්කාර්, චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනකු ඡන්ද විමසීමට පක්ෂව සහ විපක්ෂව අදහස් දැක්වූ අතර නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් නොකරන ලෙස විමල් වීරවංශ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු යෝජනා කළහ.

එසේ ඡන්දයක් පවත්වන්නේ නම් පක්ෂ 11ක නියෝජිතයන් සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඡන්දය කටුගා දමන බව විමල් වීරවංශ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරු පැවසූහ. යම් අපේක්ෂකයකු ඉල්ලා අස්වෙන්නේදැයි කථානායකවරයා විමසූ අතර ඊට කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ඡන්ද විමසීම ආරම්භ කෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment