ලංකාවටත් ඩොලර් දෙන්න බංගලාදේශය පොහොසත් ද?

285

මේ දිනවල රටේ බොහෝ දෙනෙකුගේ කතාබහ බවට පත්ව ඇත්තේ ආර්ථික වශයෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය පිළිබඳවය. රට සතුව පැවැති විදේශ සංචිතය ශීඝ‍්‍රයෙන් පහළ යෑම, රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීම ඇතුළු මෙකී නොකී කාරණ රාශියක් සෘජුවම ආර්ථිකය හා බැඳී පැවතීම එවැනි කතා බහක් ඇතිවීම සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත. ඇතැමෙක් මේ සම්බන්ධව කතා බහ කිරීමේදී සඳහන් කර සිටින්නේ රට හිඟමනට වැටී ඇති බවය. තවත් පිරිසක් එහි වරද ආණ්ඩුව මත පටවමින් ඇත. ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහන් කර සිටින්නේ පෙර පැවැති රජයන්ගේ අවිධිමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට බලපෑ ඇති බවය. මේ අතර මෙරට විදේශ සංචිතය පවත්වාගෙන යෑම පිණිස බංගලාදේශයේ සහයෝග පැතීම පිළිබඳව අලූත් කතා බහක් කරළියට පැමිණ ඇත.

එවැනි තත්ත්වයක් දක්වා මෙරට ආර්ථිකය පල්ලම් බැසීම පිළිබඳව දේශපාලන ආර්ථික විiාව පිළිබඳ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා විසින් දක්වන ලද අදහස් පහත පළවේ.

ශ‍්‍රී ලංකාව පමණක් නොවෙයි ලෝකයේ කුමන රටක් වුවත් තම තමන්ගේ රට තුළ ආර්ථික කළමනාකරණය හරියාකාරව පවත්වාගෙන යෑම පිණිස වෙනත් රටකට අතපෑමට සිද්ධ වෙනවා නම් ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. දැන් අපේ රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කරනවා නම් විදේශ විනිමය සංචිතය පවත්වාගෙන යෑම පිණිස බංගලාදේශයෙන් ඩොලර් ලබා ගැනීම සම්බන්ධව සමාජය තුළ කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ කතාබහ සමාජය තුළ ඇතිවෙලා තිබෙන වටපිටාවක තවත් ඩොලර් ප‍්‍රමාණයක් ලබා ගැනීම පිළිබඳවත් දෙරට අතර කතාබහක් පවතින බවටත් සමාජය තුළ කතාබහක් පවතිනවා. මෙතනදී අපි විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වෙන්නෙ විදේශ විනිමය සංචිත පවත්වාගෙන යෑම පිණිස අපි මුදල් ලබාගන්නෙ බංගලාදේශයෙන්ද චීනයෙන්ද එහෙමත් නැත්නම් ලෝකයේ වෙනත් රටකින් ද කියන කාරණය නොවෙයි. බංගලාදේශයෙන් හෝ වෙනත් රටකින් අපි ණයට මුදල් ගන්නව නම් අපි ආර්ථික වශයෙන් බංකොලොත් කියලා ඒකෙන් කියවෙනවා. එතනදී අපි ණය ගන්නෙ කුමන රටකින්ද කියන කාරණය නොවැදගත් සාධකයක් බවට පත් වෙනවා.

නිදහසින් පස්සෙ අපේ රට මුහුණ දුන් විශාලම ආර්ථික අර්බුදයට තමයි අද අපි මුහුණදීලා සිටින්නෙ. තවත් සරලව ඒ ගැන සඳහන් කළොත් විදේශ විනිමය සංචිත නොමැතිකම යනුවෙන් එය හඳුන්වන්නත් පුළුවන්. පසුගිය වසර කීපය උදාහරණයක් ලෙස අරගෙන මේ පිළිබඳව කතා කරනවා නම් 2020 වසර පමණ වන විට අපේ රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 07 ක පමණ ප‍්‍රමාණයකින් පැවතුණා. නමුත් 2021 වසර අවසන් වීමටත් පෙර මේ තත්ත්වයේ ලොකු කඩා වැටීමක් එක්ක අපේ රටේ විදේශ විනිමය සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 1.07 ක් දක්වා පහළ අගයකට ඇවිත් තිබෙනවා. මේක යහපත් තත්ත්වයක් නොවෙයි. එහෙමත් නැත්නම් එය නිරෝගී ආර්ථික තත්ත්වයක් නොවෙයි.

ලබන ජනවාරි 18 වැනිදා පමණ වන විට අපේ රටේ විදේශ විනිමය සංචිතය තවදුරටත් පවත්වා ගෙන යෑම පිණිස ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැනට රට සතුව පවතින්නේ මාසයක් සදහා ප‍්‍රමාණවත් ආනයන ආදායමක් පමණයි. මේක බරපතල තත්ත්වයක්. මේ තත්ත්වයෙන් මිදීම පිණිස දැනට යෝජනා දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එකක් තමයි ආණ්ඩුවේ පිළියම ඒ මොකක්ද? ඒ තමයි මිත‍්‍ර රටවලින් මුදල් ණයට ගැනීම. ඒ අනුව දැනටමත් චීනයෙන්, ඉන්දියාවෙන් ඒ වගේම බංගලාදේශයෙන් දැනටමත් විශාල වශයෙන් ණය මුදල් ලබා ගෙන ඉවරයි. ඒ වගේම ඉදිරියටත් ණය මුදල් ලබා ගැනීම පිණිස සාකච්ඡා කරන බව සඳහන් ආරංචි මාර්ග පවතිනවා. අපි ආර්ථික වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී තිබෙන බව ඒ හරහා ඉතාමත් පැහැදිලිව පේන්න තිබෙන තත්ත්වයක්.’’

රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදය පිළිබඳව කෙටි සමාලෝචනයක් සිදු කළ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා ඉන් අනතුරුව අවධානය යොමු කර සිටියේ එම තත්ත්වයෙන් මිදීම පිණිස බංගලාදේශයේ ආර්ථික සහයෝගය පැතීම රජය විසින් ගත් තීරණය පිළිබඳවය. එහිදී ආචාර්යවරයා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ණය මුදල් මත යැපෙන රටකට අවසන් විකල්පය වශයෙන් ශේෂ වන්නේ වෙනත් රටක් වෙත ‘‘අතපෑම’’ පමණක් බවය.

මීට වසර ගණනාවකට එපිට අපේ රටේ නොදියුණු ප‍්‍රදේශ හැඳින්වුවේ කොරියාව කියලා. ඒ වචනය අපේ මිනිස්සු කිව්වෙ අපහාසාත්මක මුඛයෙන්. නමුත් මේ වන විට කොරියාව කියන රට තිබෙන්නේ ලංකාවට වඩා හැම අංශයෙන්ම ඉහළින්. ඒ වගේම තමයි බංගලාදේශයත් පසුගිය අවුරුදු 06 ක වගේ කාල සීමාව ගත්තොත් ඒ කාලය ඇතුළත බංගලාදේශයට පුළුවන්කම ලැබෙනවා විශේෂ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්න. ඇඟළුම් අපනයනය වැඩි කිරීම තුළ තමයි ඔවුන් ඒ ජයග‍්‍රහණය අත්පත් කර ගන්නෙ. අද අපේ රටත් බංගලාදේශයෙන් ඇඟලූම් ආනයනය කරනවා. ඒ හරහා පසුගිය වසර කීපය තුළ පමණක් ඩොලර් බිලියන 40 ක පමණ විදේශ විනිමය සංචිත ප‍්‍රමාණයක් එකතු කර ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.

මිලියන 150 ක පමණ ජනගහනයක් ජීවත් වන රටක් ලෙස එරට විදේශ විනිමය සංචිතය ලංකාවට වඩා වැඩි විය යුතුයි. ප‍්‍රශ්නය තියෙන්නෙ එතැන නොවෙයි. ශ‍්‍රී ලංකාව මේ වන විට කාගෙන් හරි කීයක් හරි ඉල්ලා ගැනීම දක්වා පල්ලම් බැසීම පිළිබඳව තමයි අපි විසින් කතා බහ කළ යුතු වෙන්නෙ. එතනදී මම දකින බරපතළම වරද තමයි පහුගිය වසර 15 ක පමණ කාලය ගත්තොත් අපි ණය මතම පමණයි විදේශ විනිමය සංචිතය ගොඩනගා ගත්තෙ. මේ කඩා වැටීම පිණිස එය බෙහෙවින් බලපෑවා.’’

රටක් ණය මත පැවතීමේ අවසන් ප‍්‍රතිපලය බවට පත්වන්නේ ඒ ඕනෑම රටක් බරපතළ ණය උගුලක සිරගත වීමය. විශේෂයෙන්ම ණය මුදල් මත විදේශ සංචිත පවත්වාගෙන යෑම එහි බරපතළම මුහුණවර ලෙස නම් කළ හැක. මෙරට සම්බන්ධයෙන් ගත් කල කලක් තිස්සේ ණය මුදල් මත විදේශ විනිමය සංචිතය පවත්වාගෙන යෑමට බලපාන ලද ආර්ථිකමය කරුණු කීපයක් පිළිබඳව ද ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා අදහස් දක්වන්නට විය.

ඇත්ත ප‍්‍රශ්නය තිබෙන්නේ මේ විදේශ විනිමය සංචිතයේ නොවෙයි. මේ හැම කාරණයක්ම එකට ගැට ගැසුන තැන ලෙස 1977 ආර්ථික ප‍්‍රතිපත්තිය පෙන්වා දෙන්න පුළුවන්. අපි බලමු ඒක වෙන්නෙ කොහොමද කියලා. ලංකාවට ප‍්‍රධාන වශයෙන් විදේශ විනිමය ලැබෙන ආකාර තුනක් පවතිනවා. එකක් තමයි අපි විසින් සිදු කරන ආනයන හරහා ලැබෙන ආදායම. දෙක තමයි විදෙස් ගත ශ‍්‍රමිකයන් හරහා අපේ රටට ලැබෙන විදේශ විනිමය. තුන්වැනි ආකාරය ලෙස සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ගලා එන මුදල හඳුන්වන්න පුළුවන්.

මා ඉහත සඳහන් කළ කරුණු තුන හරහා වසරකට ඩොලර් බිලියන 22 ක පමණ මුදලක් අපේ රටට ලැබෙනවා. නමුත් එම මුදලින් වාර්ෂිකව ඩොලර් බිලියන 20 ක් පමණ ආනයන වියදම් වශයෙන් වෙනත් රටවලට ගෙවන්නත් අපට සිද්ධ වෙනවා. මේ තත්ත්වයේ බරපතළම අවදිය ලෙස 2022 වසරේ සිට 2026 දක්වා වසර හතර හඳුන්වන්න පුළුවන්. ඒ වසර හතර තුළ ඩොලර් බිලියන 05 බැගින් සෑම වසරකම ණය ගෙවිය යුතුයි. මා ඉහත දැක් වූ ඉලක්කම්වලට අනුව ගත් ණය ගෙවීමේදී ඩොලර් බිලියන 03 ක හිඟයක් දිගින් දිගටම ඇතිවෙනවා. 1977 ආර්ථික ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී අපනයනය පිළිබඳ ලොකු බලාපොරොත්තු තැබුවා. නමුත් එතැන් සිට ගත වූ වසර 24 ක කාලය ඇතුළත එකම වසරකවත් ආනයනය ඉක්මවා යන අපනයන ආදායමක් ලබන්න රටක් ලෙස අපි අපොහොසත් වී ඉන්නවා. මේ දීර්ඝ කාලීන ආර්ථික අර්බුදය එහි ප‍්‍රතිපලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වය බරපතළ ලෙස අපිට දැනෙන්න ගන්න කොවිඞ් වසංගතයත් හේතුවක් බවට පත් වෙනවා. ඒ හරහා රටේ ආර්ථිකයට වගේම ජාත්‍යන්තර වෙළෙඳපළට කරන ලද බලපෑම් බවත් සඳහන් කළ යුතුයි.

සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළේ
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment