ලංකාවට තෙල් ගෙන්වීම නතර වෙලා – අනුර කුමාර දිසානායක යාපන දිස්ත්‍රික් සමුළුවේදී කියයි

191

සමුළුවට උතුරේ දෙමළ පක්‍ෂ  නායකයෝත් එක්වෙති

මේ වනවිට මුළුමනින්ම ලංකාවේ තෙල් ආනයනය නතර වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ නිසා මුළු රටම නතරවීමේ අභියසක ඇති බවද හේ කීය.

ඒ මහතා එසේ පැවසුවේ (26 වැනිදා) ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළුව යාපනයේ පැවැති අවස්ථාවේදීය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවෙල් සේනාධිරාජා, ෆ්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුළුමනින්ම ලංකාවේ තෙල් ආනයනය මේ වෙනකොට නතර වෙලයි තියෙන්නේ. තෙල් අමාත්‍යවරයා 23 වැනිදා ඩීසල් නැවක් හා පෙට්‍රල් නැවක් ලංකාවට එන බව ප්‍රකාශ කළා. අද 26 තාමත් ඒ නැව ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම මේ වනවිට ඒ නැව ලංකාවේ සීමාව පසුකොට ක්‍රිෂ්ණා පටුන ප්‍රදේශයට ගමන් කර තිබෙනවා. ලංකාවට ආපු නැව දැන් තියෙන්නේ ඉන්දියාවේ. ඒක නිසි ටෙන්ඩර් පටිපාටියකට මිලදී ගත්තු තෙල් නැවක් නෙවෙයි. හදිසි ගැනුම්කරුවන් හරහා මහ මුහුදේ තිබුණු නැවක් හරවපු එකක්. ඒ නැව කොළඹ වරායට එයිද නැද්ද කියලා විශාල සැකයක් තියෙනවා. ඒ නිසා මුළු රටම නතරවීමේ අභියසක අපි ඉන්නේ.

ඇමෙරිකාවේ හැමිල්ට රිසොව් බැංකුව අපේ ශ්‍රී ලංකාවේ බැඳුම්කර මිලදී අරගෙන තිබෙනවා. එය කල් පිරෙනවා මේ ජුනි මාසයේ 18 වැනිදාට. දැන් ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා ණය ගෙවන්නේ නැති බව. දැන් ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකන් රිසොව් බැංකුව ඇමෙරිකාවේ නඩුවක් දාලා තියෙනවා. ඒ විතරක් නොවෙයි නඩුවේදී ඔවුන් සඳහන් කරනවා රාජපක්‍ෂ පවුල මහජන ධනය විශාල ප්‍රමාණයක් හොරකම් කරපු බවත් ඒවා සීසෙල්ස් වැනි බදු සහන දෙන රටවල්වල සඟවා තිබෙන බවත්, බැසිල් රාජපක්‍ෂ ටෙන් පෙසන් බවත් නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයන් අද කියන්නේ ජපානයේ හිරෝෂිමා නාගසාකිවලට පරමාණු බෝම්බයක් එල්ල කළා හා සමානයි කියලා.

මුළු ආර්ථිකයම කඩා වැටී තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරලා තියෙනවා. අපේ තරුණයන්ගේ අනාගතය පිළිබඳව අපේක්‍ෂා භංගත්වයක් ඇතිකරලා තියෙනවා. ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ යෙදෙන්න බැරි තත්ත්වයක් උදාකර තිබෙනවා. ධීවර ජනතාවට මුහුදු යන්න බැරි තත්ත්වයක් උදාකර තිබෙනවා. රාජ්‍ය ආයතන මුළුමනින්ම වසා දමා තිබෙනවා. පාසල් වසා දැමීමට ඉඳහිට තීරණ ගනිමින් තිබෙනවා. ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ යෙදෙන්න බැරි තත්ත්වයක් උදාකර තිබෙනවා. මේ අපේ රටේ පාලක කණ්ඩායම් විසින් සිංහල, දෙමළ, මුස්ලිම් මේ අපි කවුරුත් මේ පීඩාවට තල්ලු කර තිබෙනවා.

ඒ නිසා අද අපිට සටනක් තිබෙනවා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර භේදයකින් තොරව අපි එක්ව සටනක් දියත් කරන්න ඕන. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අන්න ඒ පණිවුඩය සඳහා තමයි අපි ඔබව හමුවෙන්න ආවේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment