ලංකාවට මඟඇරුණු මඟ

250

ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක, 165 වැනි ජන්ම සැමරුම පෙබරවාරි 13වැනි දිනට යෙදේ. සියවස් කිහිපයක විදෙස් පාලනයට පසු ලංකා දේශපාලනයේ ඉහළම තනතුරට පැමිණි ස්වදේශීය ජන නායකයා වන බාරොන් ජයතිලක 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායකයා විය. ලංකාව වෙනුවෙන් මොහු 1942 දී ඉන්දියාවේ පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද විය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියකු වූ ඔහු ඊට පෙර කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනඥයකු, පඬිවරයකු, සාහිත්‍යවේදියකු සහ දේශපාලනඥයකු එකවිට දකින්නට හැකි චරිතයක් මොහුගෙන් පසු ලක්වැසි සමාජයේ හමු නොවේ. සිංහල ශබ්දකෝෂයේ පළමු කර්තෘවරයා ද වන, දොන් බාරොන් ජයතිලක චරිතය ආශ්‍රයෙන් ලියූ ‘බාරොන් – මඟඇරුණු මඟ’ කෘතියේ කර්තෘ ලක්ෂමන් පියසේන සමඟ කරන සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

ලංකාවට මඟඇරුණු මඟ
ලක්ෂමන් පියසේන

ඔබේ පොත බාරොන් යනුවෙන් නම් කරනවාට අමතරව ‘මඟඇරුණු මඟ’ යනුවෙන් ඊට තව අතුරු නාමයක් ලබා දී තිබෙනව. මොකක්ද එයින් අදහස් කරන්නෙ?

වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින ආර්ථික සමාජීය අර්බුදය ගැන සිහිපත් කරමින් ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දීම හොඳයි කියා හිතනව. අර්බුදයට හේතුව මෙතෙක් රට පාලනය කරපු පාලකයන් බවයි පොදු නිගමනය වෙලා තියෙන්නෙ. මේ දේශපාලකයන් එතැනට ඔසවා තබන ලක්වැසි සමාජය, එහෙම නැතිනම් ඡන්දදායක බහුතරය ඒ සමඟ වගකීමෙන් නිදහස් වෙනව. ඒක විශාල මඟඇරීමක්. රට ඉදිරිගාමී ගමනකට යොමු කිරීමට ජන සමාජයත් ඒ ගැන සවිඥානික විය යුතුයි. රට පුරා සෑම කඩපිලකම, කිසියම් පිරිසක් එකතුවෙන සෑම අවස්ථාවකම, දේශපාලන සංවාද තමයි ප්‍රමුඛ වෙන්නෙ. ජන සමාජය එතරම්ම දේශපාලනය ගැන උනන්දු බවයි එයින් පේන්නෙ. එහෙත් බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබිල වසර හැත්තපහකට පසුවත් ලංකාව අන්තිම පසුගාමී රටක්. ඒ කියන්නෙ අපට කොතනක හරි විශාල මඟඇරීමක් වෙලා තියෙනව.

1931 දී ලංකාවට ඡන්ද බලය ලැබෙන විට අසල්වැසි ඉන්දියාවටවත් එහෙම අවස්ථාවක් ලැබිල තිබුණෙ නැහැ. එතරම් අවස්ථාවක් ලැබුණට මොකද එහි වටිනාකම ලක්වැසි සමාජයට මඟඇරෙනව. තවමත් එහි වටිනාකම ගැන ලක්වැසි බහුතරයට අවබෝධයක් නැහැ. දේශපාලනය ගැන මොනතරම් කතා කළත් රට ඉදිරිගාමී මඟට ගැනීම වෙනුවෙන් ඡන්ද බලය භාවිත කරන්න දන්නෙ නැහැ. ලක්වැසි බහුතරය හැම වෙලාවෙම අනෙකාට වඩා තමන් දන්නව, තමන් ප්‍රමුඛයි කියා හිතනව. හැම අවස්ථාවක්ම භාවිත කරන්නෙ අනෙකා පරාද කරන්න මිස රට දිනවන්න නෙමෙයි. අනෙකා නොඉවසීම තමයි ලක්වැසි සමාජය හිතන පතන පදනම. මෙම හැසිරීම බහුතරයේ අවිචාරය කියා හඳුන්වන්න පුළුවන්. දේශපාලකයන් හැමදාම කරන්නෙ මේ කියන අවිචාරය අවභාවිත කිරීම. විවේචනය පමණක් ඇති ප්‍රායෝගික විසඳුම් නැති දේශපාලනය උඩ මතු වෙන්නෙ මෙන්න මේ අවිචාරයත් ජන නායකයන් ලෙස ඉදිරියට එන අය එය අවභාවිත කිරීමත් නිසා. දිගින් දිගට සිදුවන මේ මඟ වැරදීම නිසා රටේ ඉදිරිගාමී ගමන ඇහිරී යන බව රටක් ලෙස වටහා ගන්නෙ නැහැ.

බාරොන් ජයතිලක රටට මඟඇරෙන චරිතයක් බවට ඔබේ කෘතිය මඟින් කරුණු ඉදිරිපත් කෙරෙනව. සමකාලීන අනෙකුත් දේශපාලනඥයන් අතරින් ඔහු විශේෂ වෙන්නෙ කොහොමද?

1948 දි ස්වදේශික නායකයන් අතට රටේ පාලනය ලැබෙන විට එකිනෙකාට විරුද්ධ ප්‍රධාන දේශපාලන දහරා දෙකකට ලක්වැසි සමාජය බෙදෙනව. කොටසක් ‘ධනවාදී කඳවුර’ ලෙස. තව කොටසක් ‘වාමාංශික කඳවුර’ ලෙස. සොබා දහමේ ගහකොළවල විවිධ වෙනස මෙන් යථාර්ථයක් වූ පුද්ගල කැමැත්ත ප්‍රමුඛ කරන දේශපාලනයකට මේ කාලෙදි ලෝක දේශපාලනය හැරෙන්න ගත්ත. හොඳට හෝ නරකට හෝ අධිරාජ්‍යවාදය යථාර්ථයක් වී තිබීම නිසා රටක් ලෙස කරන්නට ඉතිරිව තිබුණෙ ඒ සමඟ බුද්ධිමත් ගනුදෙනුවකට යාමයි. ඉදිරිගාමී රටක් ලෙස ලෝකය සමඟ සමපාත වීම පිණිස දෘෂ්ටිවාදවල එල්බ නොගත් මැදහත් නායකත්වයක් ලංකාවට අවශ්‍ය වුණා. අර කඳවුරු දෙකටම ඒ නායකත්වය ලංකාවට ලබා දෙන්න බැරි වුණා. අදටත් ඒ හිඩැස ඉතිරියි. බාරොන් ජයතිලක ඒ හිඩැස පුරවන්න ඉදිරිපත් වෙච්ච නායකය ලෙස මුල් කාලෙදිම ඉස්මතු වුණා. ජාතික සංස්කෘතික පොදු සාමූහිකත්වය තහවුරු කරන දේශපාලනයක් ඔහු ආරම්භ කළා. ප්‍රධාන දහරාවේ දේශපාලන කඳවුරු දෙකට වෙනස් ජාතිකවාදී මධ්‍යස්ථ දේශපාලන ගමනක් රටට පෙන්වා දෙන්නට ඔහු උත්සාහ කළා. එම දේශපාලනය ගැන තබා ඔහු ගැන පවා අමතක වෙන තරමට රටට එය මඟ ඇරුණ.

අධ්‍යාපනඥයකු විදියටත් ඔහු ගැන සඳහන් වෙනව නේද?

ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ ගුරුවරයෙක් විදියට. ඒ සඳහා ඔහුට පැහැදිලි අරමුණක් තිබුණ. අනෙකා නොඉවසන අවිචාරය වෙනුවට ලක්වැසි සමාජය විචාරශීලීව හිතන පතන සමාජයක් බවට පත්කර ගන්නට, අධ්‍යාපන අවස්ථාව කෙරෙහි විශ්වාසය තබන පළමු ස්වදේශීය ජනනායකයා වුණේ බාරොන් ජයතිලක. පරමවිඥානාර්ථ සමාගම 1890 දි පමණ ලංකාවේ ආරම්භ කරන පාසල් ජාලයේ ප්‍රධානියා විදියට තම ගුරු වෘත්තිය බලාත්මක වූවාට පසු ඔහු තම ඉලක්කය රටට දැනෙන ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට පත්කරන්නට පියවර ගන්නව. 1943 වසරෙදි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නනගර සැමට නොමිලේ අධ්‍යාපනය සලසන සර්වජන අධ්‍යාපන පනත රාජ්‍යමන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන්නෙ, බාරොන් ජයතිලක එතෙක් රැගෙන ආ අධ්‍යාපන යෂ්ටිය බාරගනිමින්. 1931 දී බාරොන් ජයතිලක රාජ්‍යමන්ත්‍රණ සභාවෙ සභානායකයා නොවෙන්න කන්නන්ගරට මෙරට පළමු අධ්‍යාපන ඇමැතිකම ලැබෙන්නෙ නැහැ. කන්නන්ගර තම අරමුණ ඉදිරිපත් කළාට එය ප්‍රායෝගික දෙයක් බවට පත්කරගන්නට ධනවාදී මෙන්ම වාමාංශික යන දේශපාලන කඳවුරු දෙකම ඉඩ දුන්නෙ නැහැ. මේ කඳවුරු දෙකට වෙනස් ප්‍රගතිශීලී දේශපාලනයක් ආරම්භ කළ, ලක්වැසි අවිචාරයට අධ්‍යාපනික විසඳුමක් හඳුන්වා දෙන්නට උත්සාහ කළ බාරොන් ජයතිලකත් ඔහුගේ දේශපාලන ආදර්ශයත් රටට මඟඇරෙනව.

ලංකාවට මඟඇරුණු මඟ

ලංකාවෙ දැනටත් ක්‍රියාත්මක වෙන්නෙ සැමට නොමිලේ අධ්‍යාපන ප්‍රතිපත්තිය. එයින් රටට සෙතක් වුණේ නැහැ කියලද ඔබ කියන්නෙ?

පැහැදිලිවම ඔව්. සර්වජන අධ්‍යාපනය කියන්නෙ සුපිරි මාර්ගයක්. එහෙත් මේ පාර දිගේ කොහාට යනවද කියල රටක් ලෙස දන්නෙ නැහැ. හැමෝම දන්නව ඉගෙන ගත්තොත් හොඳයි කියල. ඒ ඉගෙන ගන්නෙ මොකටද? විභාගයක් සමත් වෙන්න. විශ්වවිද්‍යාලයට යන්න. මොකටද? තමා ළඟම අනෙකාට තම උජාරුව පෙන්නන්න. දෙමව්පියන්ට ඕනෙ තම දරුවා උගතෙක් බව අනෙකාට කියන්න. ඒ උගත්කමින් පුද්ගලයාට හෝ රටට හෝ ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියල හිතන්නෙ නැහැ. සාමාන්‍යපෙළ කඩයිමේ සිට රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගැනීම දක්වා හිතුවොත්, ඒ වෙනුවෙන් කිසිම ආදායමක් නොලබන වියදම්කාරී වසර 8ක් 10ක් තරුණ වයස අපතේ ඇරීමක් තමයි පවතින අධ්‍යාපන ක්‍රමයේ අග්‍රඵලය. එහෙම වෙලත් ආදායමක් ලැබෙන ජීවිකාවක් සොයා ගන්න ඒ සුදුසුකම්වලට බැහැ. මොකද විශ්වවිද්‍යාලය දක්වා ගියත් වෘත්තීය සුදුසුකමක් නැහැ. පවතින අධ්‍යාපනය එහෙම අසාර්ථක ක්‍රියාවලියක්.

උගත් කියා හිතන සමාජය පොදුවේ කරන චෝදනාවකට අනුව, නූගත් දේශපාලකයො රට ගසාකනවලු; සොරාකනවලු. හොඳට හොයල බැලුවොත් ඒ දූෂණයට, වංචාවට අනුබල දීල තියෙන්නෙ, නූගත් කියන දේශපාලකයට නීතියෙන් ආරක්ෂාවෙන හැටි කියා දීල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට නැඟගත් නිලධාරි පැළැන්තිය. බාරොන් ජයතිලක චරිතය සේම රට ඉදිරිගාමී මඟට ගැනීමට කල්පනා කරන, ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන අධ්‍යාපනය විචාරශීලීව බාරගත් වෘත්තිකයන් නැතුවම නෙමෙයි. කවදටත් ඒ කණ්ඩායම ඉන්නව. හැමදාම ඒ අයත් මඟඇරෙනව. ඒ අයට මඟ අවුරන්නෙත් දේශපාලකයන්ට හොරාකන්න උගන්වන නිලධාරි පැළැන්තියමයි. ලක්වැසි බහුතරය නිදහස් අධ්‍යාපනය කියල වටහාගෙන තියෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වන්න බැහැ; විශ්වවිද්‍යාල පක්ෂ කාර්යාල බවට පත්කර ගන්න නිදහස තියෙන්න ඕන කියන වගේ දේවල්. උගත් කියන සමාජයේ අවිචාරය එළියට එන්නෙ එහෙම.

බාරොන් ජයතිලක සිංහල ශබ්දකෝෂයේ පළමු කර්තෘ. එවැනි උගතකු රටේ නායකත්වයට නැඟුණු වෙනත් අවස්ථාවක් හමු නොවෙන්නෙ ඇයි?

රටට නිදහස ප්‍රදානය කෙරුණාට පසු ගෙවී ගිය වසර හැත්තපහටම මෙවැනි පඬිවරයකු රටේ නායකත්වයට ළඟා වුණේ නැහැ. එහෙම චරිත බිහිවෙන්න ඇති. එහෙත් එම කණ්ඩායම රටට මඟඇරුණා කියා තමයි හිතන්න වෙන්නෙ. නමුත් නිදහස ප්‍රදානය වෙන්නට පෙර. එහෙම නායකයො රට පාලනය කරල තියෙනව. හොඳම නිදසුනක් තමයි දඹදෙනි යුගයේ පණ්ඩිත පරාක්‍රමබාහු. එම චරිතය මෙතනට ගන්න තවත් හේතුවක් තියෙනව. බාරොන් ජයතිලකගේ ආදර්ශ රජ චරිතය වුණෙත් පණ්ඩිත පරාක්‍රමබාහු. පොලොන්නරු යුගය බිඳවැටුණට පසු, ලංකාව විශාල ආර්ථික කඩා වැටීමකට ගොදුරුවුණාට පසු, වසර පනහක් තරම් කාලයකින් ලංකාව යළි සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට මුල් වෙන්නෙ පණ්ඩිත පරාක්‍රමබාහු. බෞද්ධ ප්‍රතිපදාව මත පිහිටල, රටේ සංස්කෘතික විවිධත්වය එක්සේසත් කරගෙන, ජාතිකව සහ අන්තර්ජාතිකව ස්ථාවර පාලනයක් ඇති කළ බවට ඇති හොඳම රජ චරිතය පණ්ඩිත පරාක්‍රමබාහු. මොහු තමයි මහා කාව්‍යය වූ ‘කව්සිළුමිණ’ රචනා කරන්නෙ. විශුද්ධිමාර්ගයට පැහැදිලි කිරීමක් හෙවත් අටුවාවක් ලියන්නෙත් මෙතුමා. එවැනි ශාස්ත්‍රීය අවබෝධයක් රටේ පාලකයාට තියෙනවයි කියන කාරණය සුළුපටු දෙයක් නෙමෙයි.

මෙතුමාගෙ කාලෙ ලියවෙන ‘කඳවුරු සිරිත’, බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කරන රටේ නායකයා අනුගමනය කළ යුතු දිනචරියාව දක්වන්නක්. එහි පිටපතක් බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ තිබී සොයාගෙන, එය සංස්කරණය කොට නැවත සිංහල පාඨකයා අතට ලැබෙන්නට සලවන්නෙ බාරොන් ජයතිලක. එතකොට ධම්පියා අටුවා ගැටපදය, සිඛවළඳ හා සිඛවළඳ විනිස, පන්සිය පනස් ජාතක පොත, සද්ධම්මරත්නාවලිය, කතිකාවත් සඟරා බුදුගුණාලංකාරය යන සංස්කරණ ඔහුගේ පාණ්ඩිත්වය පෙන්වන අවස්ථා. නීතිඥ ජෝන් ද සිල්වාගේ ‘සිරිසඟබෝ’ නෘත්‍ය නැරඹූ බාරොන් ‘සිංහල භාෂාව මිහි තලය මත කොතරම් කාලයක් පවතී ද එතරම් කාලයක් දන්නෝ බුදුන්ගේ ගීතය පවතිනවා’ යැයි කීවාලු. බාරොන් ජයතිලක නම් ජනනායකයා සතුව මොනතරම් සාහිත්‍ය ගැඹුරක්, රසඥතාවක් තිබුණා ද කියා එයින් ගම්‍ය වෙනව.

මහත්මා ගාන්ධි ඉන්දියාවට අවිහිංසා මාර්ගය හඳුන්වා දුන්නා සේ බාරොන් ජයතිලක ලංකාවේ දේශපාලන ගමනට ‘සමකරුණාව’ හඳුන්වා දුන් බව ඔබ මෙම කෘතියේ සඳහන් කරනව?

සමකරුණාව කියන්නෙ බෞද්ධ ප්‍රතිපදාවේ දේශපාලන භාවිතය. සාධාරණ සමාජය, සමානාත්මතාව, අනෙකා ඉවසීම ආදී ඒ හැම දේම එන්නෙ සමකරුණාව ඇසුරෙන්. පණ්ඩිත පරාක්‍රමබාහු මෙම දේශපාලන භාවිතය හොඳින් අත්හදා බලන නායකයෙක්. රටේ පාලකයා රටවැසියාට පියකු මෙන් විය යුතුයි කියවෙන්නෙත් මේ පිළිවෙත මත. සමකරුණාවට අනුව රටවැසියා නීතියට ධර්මයට යටත්. රටවැසියාට ඇති වගකීම, වගවීම වෙනුවෙන් අමුතු කරුණාවක් හිමි වෙන්නෙ නැහැ. ධනවාදී සහ වාමාංශික යනුවෙන් බෙදුණු දේශපාලන කඳවුරු දෙකට රටේ පොදු සාමූහිකත්වය තහවුරු කරන එවැනි ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. එම කඳවුරු දෙකට අවශ්‍ය කළේ යටත් විජිත පාලකයන් අතේ තිබුණු බලය කෙසේ හෝ තමන් සතු කර ගැනීම. ඒ සඳහා මේ කඳවුරු දෙක අදටත් භාවිත කරන තුරුම්පුව තමයි ලක්වැසි බහුතරයේ අවිචාරය අවභාවිත කිරීම.

සාකච්ඡා කළේ
හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment