ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

309

හැනෝයි වර්ණවත් කළ ශ්‍රී ලාංකීය අභිමානය
හැමෝම කිව්වේ මේක කරන්න බෑ කියලා – අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන

2010 වසරේ ඇරඹි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී මීට පෙර ඔබ නැතිව ඔබ එක්ක (2014), හෝගානා පොකුණ (2014), ඇගේ ඇස අග (2016), වෛශ්නාවී (2018) චිත්‍රපට මෙම උළෙල නියෝජනය කරන ලදී. නමුත් හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී තරගකාරී අංශය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය සිනමා පටය වූයේ ‘මාරියා’ චිත්‍රපටයයි. එකී පළමු තරගකාරී නියෝජනයෙන්ම ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍රවීම සුවිශේෂී කරුණකි.

ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්
ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

ගැඹුරු මුහුදේ මසුන් මරණ ධීවරයන් හයදෙනකු නීති විරෝධීව ඕස්ටේ්‍රලියාවට පැන යෑමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති ‘මාරියා’ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන අතර ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.

පසුගියදා නිමාව දුටු හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේදී තරගකාරී අංශය නියෝජනය කළ මෙම ‘මාරියා’ චිත්‍රපටයට හොඳම නළුවාට හිමි සම්මානය :(Award for the best leading actor in feature length film) හිමි විය. මෙහිදී එම සම්මානය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වුණ හේමාල් රණසිංහ, දසුන් පතිරණ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, සුරන් දසනායක යන රංගන ශිල්පීන් හත්දෙනාටම පිරිනැමීමට ජූරිය තීරණය කර තිබීම තවත් සුවිශේෂී සිද්ධියකි. මාරියා චිත්‍රපටය මීට පෙරද රුසියාවේ පැවැති පළමු යල්ටා අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට හැකි විය.

ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

මෙම සම්මාන උළෙලෙ නියෝජනය කිරීම සඳහා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන, නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා වගේම ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ද සහභාගි විය.

සම්මාන උළෙල නියෝජනය කරමින් නැවත ලංකාවට පැමිණි ‘මාරියා’ නිර්මාණකරු වන අරුණ ජයවර්ධන මෙලෙස ඒ අත්දැකීම වචනවලට පෙරළුවා.

මමයි, නිෂ්පාදකයි, හේමාලුයි මෙම සම්මාන උළෙලට සහභාගි වුණාට අපි ඇත්තටම මේ සම්මානය බලාපොරොත්තු වුණේ නැහැ. ප්‍රධානම සම්මාන හතරයි තිබුණේ හොඳම චිත්‍රපටයට. හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්ෂණය කියන සම්මාන හතර විතරයි තිබුණේ.

ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

නොමිනේෂන් යනකොට තමයි අපි පුදුම වුණේ මොකක්ද මේ සම්මානය කියලා. මම හේමාල්ට තමයි සම්මානය ගන්න කියලා ආරාධනා කළේ. ඔහු ඒ වෙලාවේ කිව්වේ මට යන්න කියලා. මේ චිත්‍රපටය රූගත කරන කොට මේ නළුවෝ හත්දෙනා පුදුමාකාර කැප කිරීමක් කළා. මොකද අපිට පුරුදු දර්ශන තලයක නෙමෙයි අපි මේක ෂූට් කළේ. මුහුදේ සිද්ධි රැසක් තිබුණා. ඇත්තටම මේක මහන්සියට ලැබුණ ලොකුම වටිනාකමක් කියලා හිතෙනවා.

ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

මෙතැන අපිට දරාගන්න බැරි දෙයක් තියෙනවා. දර්ශන් මේ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඔහු මේ චිත්‍රපටය එනකම් බලාගෙන හිටියා. මොස්කව් ෆෙස්ටිවල් එකට තේරුණා කියලා කිව්වහම මට විතරක් හරි ඕක පෙන්වන්නකෝ කියලා මගෙන් ඉල්ලීමක් කළා. ඔහු මාර බලාපොරොත්තුවක් තියාගෙන හිටියා මේ චිත්‍රපටය ගැන. අද ඔහු හිටියා නම් මම දන්නවා කොතරම් සන්තෝෂ වෙනවද කියලා. දර්ශන් වගේ නළුවෙක් අපිට ආපහු ජීවිත කාලයටම හම්බවෙයි ද කියන්න දන්නේ නැහැ.

මේ චිත්‍රපටයේ හැමෝම තේරුම් අරගෙන හිටියා තමන්ගේ චරිතය මොකක්ද කියලා. සම්මාන උළෙලෙන් පසු ජූරියේ හිටපු අයත් අපට කිව්වේ හත්දෙනාගේ රංගනය හත් විදිහක් කියලයි.

මේ මාසේ 24 වැනිදා ඉන්දියාවේ ගෝවා ෆිල්ම් ෆෙස්ටිවල් එකට සහභාගි වෙනවා. දෙසැම්බර් මුල කේරල ෆිල්ම් ෆෙස්ටිවල් එක නියෝජනය කරනවා. ජනවාරි මාසයේ බංග්ලාදේශයේ ඩකා ෆිල්ම් ෆෙස්ටිවල් එක නියෝජනය කිරීමකුත් තිබෙනවා. අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ චිත්‍රපටය ගැන අලුත් බලාපොරොත්තුවක් තියෙනවා.

ලංකාවෙන් ගිය ‘මාරියා’ගෙන් හොඳම නළුවෝ හත් දෙනෙක්

අපි නියෝජනය කළේ රටක්. මේක අපේ පෞද්ගලික දෙයක් නෙමෙයි. මේ පිටපත මම නිෂ්පාදකවරු කිහිපදෙනකු ළඟටම අරගෙන ගියා. ඔවුන් කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ. හැමෝම කිව්වේ මේක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මම හිතන්නේ නිෂ්පාදකවරයා කැමැති වුණේම මේකේ තියෙන මේ වෙනසට. නිෂ්පාදකවරයා මට සොයලා දුන්නෙත් මෙහි රඟපෑ සුරන් දසනායක.

දැන් මේ වෙලාවේ හැමෝම මගෙන් අහන්නේ කවදාද ලංකාවේ ‘මාරියා’ පෙන්වන්නේ කියලා. අපි මේ සම්මාන උළෙලවලට සහභාගි වෙලා ඒ වැඩ ඉවර වුණාට පස්සේ ලබන වසරේ අප්‍රේල් මැයි මාසවල තිරගත කිරීමේ අදහසක් තියෙනවා. ඉදිරියේ පැවැත්වෙන උළෙලවලට මෙහි රඟපෑ රංගන ශිල්පීන් සහභාගිකරවා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම මම නෙමෙයි හේමාල් සම්මානය ගත්තා නම් හරි. සම්මාන උළෙලේදී හේමාල්ට ප්‍රතිචාර එමටයි.

හරි අපූරු දෙයක් සිද්ධ වුණා. නිර්දේශිත නාමයන් දානකොට ඔවුන් පළ කළේ මහේන්ද්‍ර අයියාගේ වීඩියෝව. අපි හිතුවේ හොඳම නළුවාට මහේන්ද්‍ර අයියා තේරිලා තියෙන්නේ කියලා. මම ඒ වෙලාවේ හේමාල්ට කිව්වේ ඔයා යන්න ගිහිල්ලා සම්මානය ගන්න කියලා. සම්මානය අරගෙන ආවට පස්සේ සහතිකයේ තමයි තිබුණේ මේක හත්දෙනාටම ලබාදුන් සම්මානයක් කියලා. ඊට පස්සේ තමයි අපි දැනගත්තේ මේක මහේන්ද්‍රට විතරක් නෙමෙයි හත්දෙනාටම දීපු සම්මානයක් කියලා.

අධ්‍යක්ෂවරයාගෙන් පසුව අපි අදහස් කළා මේ වෙලාවේ ‘මාරියා’ට ආලෝකයක් ලබාදුන් ඒ නළුවන් හත්දෙනාගෙන් දර්ශන් හැර අනෙක් සියලුම දෙනා සම්බන්ධ කර ගැනීමට. ඇත්තටම කිව්වොත් ඔවුන් සියලුදෙනාම අපව දාලා ගිය දර්ශන්ගේ කැපකිරීම ගැන ඔවුන් නිතර නිතරම මතක් කළා. මෙහිදී හේමාල් සහ ප්‍රියන්ත පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විටත් විදෙස්ගතවී සිටි නිසා ඒ දෙපළ අපට සම්බන්ධකර ගැනීමට නොහැකි විය.

මමත් බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිහිල්ලා හොඳ කට්ටක් කෑවා

සුරන් දසනායක

මේ නළුවෝ හයදෙනාත් එක්ක වැඩ කරන්න හම්බ වීමෙන්ම මම සම්මානය අරගෙන ඉවරයි. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනෑ. අරුණ ජයවර්ධන නමැති අධ්‍යක්ෂවරයා යටතේ වැඩ කරන්න ලැබීමත් ලොකු අවස්ථාවක්. දර්ශන් මේ වැඩේ ඇතුළේ ලොකු සපෝර්ට් එකක් දුන්නා.

මේ අදහස කියද්දී මට ලොකු වුවමනාවක් තිබුණ මේ වැඩේ කරන්න. මොකද මමත් ජීවත් වෙන්නේ ධීවර ප්‍රජාව වෙසෙන පළාත වන මීගමුව ප්‍රදේශයේ. මොකද මමත් එක පාරක් ඔස්ටේ්‍රලියාවේ යන්න බෝට්ටුවෙන් ගිහිල්ලා ලොකු කට්ටක් කාලා ආව චරිතයක්. නවකයෙක් විදිහට අනෙක් අයට හම්බ වෙන්නේ නැති අවස්ථාවක් මට හම්බ වුණා. මගේ ඔස්ටේ්‍රලියා ගමනින් මුහුදේ තිබෙන බැරෑරුම් කම සහ මුහුදේ තිබෙන සුන්දරත්වය මම දැක්කා. අපි ගොඩක් මහන්සි වුණා මේ වැඩේට. මාරියා නිර්මාණය කරන්න මට ලොකු උණක් ඇත්තටම තිබුණා. ඒකේ ප්‍රතිඵලත් හම්බ වුණා.

දර්ශන්,හේමාල් දෙතුන් පාරක් ගිලෙන්න ගියා

අශාන් ඩයස්

ලොකු ආඩම්බරයක් ආවා ලංකාවට කීර්තියක් ලැබීම ගැන. හැබැයි නළුවෙක් විදිහට තේරුම් ගත්ත දෙයක් තමයි හත්දෙනකුට සම්මානයක් දෙනවා කියන්නේ, ඒකෙත් සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අධ්‍යක්ෂවරයාට සහ පිටපත් රචකයාට. පිටපතේ චරිත හතක් ලියලා තියෙන නිසා තමයි එකක් වෙන්කරලා දෙන්න බැරි වෙන්නේ. මොකද හත්දෙනාගේ දක්ෂතා එකම තලයේ නෙමෙයිනේ. මේක ලේසි වැඩක් නෙමෙයි. මේක ටීම් වර්ක් එකක්. අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. ගොඩක් දුක්විඳින්න වුණා. ජීවිත අවදානම ගත්තු තැන් ගොඩක් තිබුණා. ඒවත් එක්ක ඇගයීමක් ලැබීම සතුටක්.

පළමු වැනි ෂූට් එක දවසේ රාත්‍රියේ හතළිහකින් තිස්අටදෙනකුට සී සික්නස් හැදුණා එච්චරට අමාරුයි. ඊට පස්සේ මුහුදට බැහැලා රූගත කිරීම් කරන්න වුණා. ගොඩක් තැන්වල නළුවෝ ගිලෙන්න ගිය සිද්ධි තිබුණා. මොන සම්මානය ගත්තත් හිතට හරි නෑ දර්ශන් ධර්මරාජ් නැති එක. දර්ශන් කවදාවත් වතුරට බැහැලා තිබුණ කෙනෙක් නෙමෙයි. මුහුදට බැහැලා තිබුණෙත් නැහැ. හැබැයි ඇක්ෂන් කියද්දි මුහුදට පනින්න ඕනෑ කියද්දි මිනිහා වැඩේ කළා. ජීවිතේ පරදුවට තියනවා කියන එක නිකම් කියන දෙයක් නෙමෙයි. දර්ශන් ජීවිතය පරදුවට තිබ්බා මේ නිර්මාණය වෙනුවෙන්. ඒ වගේ කෙනෙක් තමයි අපිට නැති වුණේ. දර්ශන්, හේමාල් දෙතුන් පාරක් ගිලෙන්න ගියා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් වුණා. මරණ බිය කියන එක ඇත්තටම අපිට ගොඩක් දැනුණා.

අපි ලොකු අවදානමක් ගත්තා

දසුන් පතිරණ

ඇත්තටම මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපේ කණ්ඩායමේ ප්‍රතිඵලය මල්ඵල ගැන්වුණා කියලා හිතෙනවා. මේ ෆෙස්ටිවල් එකෙන් අපිට ඒක තේරුණා. දැන් පටන් ගත්තා විතරයි තව ඉදිරියට ෆෙස්ටිවල් රැසක් මේ චිත්‍රපටය නියෝජනය කරනවා. මේ වගේ සම්මානයක් අපිට කාලෙකින් හම්බවෙලා නැහැ. අපිටත් හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වුණේ කියලා. මේ වගේ දෙයක් මීට කලින් වෙලා නැහැනේ. මොකද මේ වැඩේට ඉන්නේ ඉතින් ලංකාවේ ඉන්න හොඳම නළුවෝ සෙට් එකක්. දර්ශන් ධර්මරාජ් කියන්නේ ‘මාරියා’ එකේ ලොකු පාර්ට් එකක්. මේ වෙලාවේ ගොඩක් ආදරයෙන් මතක් වෙනවා ඔහුව.

චිත්‍රපටයක් වෙනුවෙන් අපි කොහොමත් මහන්සි වෙනවා. ඒ මහන්සිය චිත්‍රපටය පුරාවටම තියෙනවා. ඒ කියන්නේ පොඩි මහන්සියක් නෙමෙයි. මේ ෂූට් එක ලේසි නැහැ. ස්ටාර්ස්ලා දාලා කරන්න ඕනෑ වැඩ අපි කළා. අපි ලොකු අවදානමක් අරගෙන තමයි ඒ හැමදේම කළේ. අපිට මොනවා හරි වුණා නම් කවුරුවත් නෑ බලන්න. වෙන රටක මේක කළා නම් කරන්නේ තටාකයක. අපි ඇත්තටම මුහුද මැදට ගිහිල්ලා ෂූට් කළා. අන්තිමේ ඒකේ ප්‍රතිඵලය ලැබුණා. තවම ප්‍රතිඵල හම්බවෙමින් පවතිනවා.

මේ වෙලාවේ දර්ශන් නැති එක ලොකු වේදනාවක්

මහේන්ද්‍ර පෙරේරා

මම හිතන්නේ ලෝකයේ ප්‍රථම වතාවට තමයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. ආයෙත් එහෙම දෙයක් වෙයිද කියන්නත් සැකයි. මට නිහතමානී ආඩම්බරයක් වගේම සන්තෝෂයක් දැනුණා. විශේෂයෙන්ම අපේ නියමුවා අරුණ ජයවර්ධන ගැනත් ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි ඔක්කෝම එකා වගේ මහන්සි වුණා මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න. එකාට එකා වෙනස් වෙන්නේ නැතිව මාසයක්ම මුහුද මැද්දේ රඟපෑවා. අපි හැමෝම හරි බැලන්ස් ඇක්ටින්වල ගියා. මාසයක් මුහුද මැද්දේ ඉන්නවා කියන්නේ ලේසි කතාවක් නෙමෙයි. අපේ රඟපෑම් කැප්චර් කරගන්න නිෂ්පාදක කණ්ඩායමට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා.

හේමාල්, අරුණ වගේම නිෂ්පාදක ඉන්ද්‍රජිත් හිතලා තියෙන්නේ මම තමයි හොඳම නළුවා කියලා. නමුත් ඒකත් සුවිශේෂී කාරණයක්. මාත් එක්කම වගේ පිටිපස්සෙන් අනෙක් හයදෙනා ඉන්නවා. ඒක සන්තෝෂයට කාරණයක්. තනියම ගත්තා කියලා එකක් නෙමෙයි තියෙන්නේ. අනෙක් නළුවෝ ගැන හිතාගන්න බැරි හැඟීමක් ආදරයක් තියෙන්නේ. මම ට්‍රෝලර් එකක් ගෙනියන ආකාරය ඉගෙන ගත්තා සෑහෙන දුරකට.

මේක ලේසි නෑ. පොඩි කර්කශ බවක් තියෙනවා. හැබැයි කර්කශ බව දැනුණේ නැහැ. හරි විනෝදයෙන් තමයි හිටියේ. දර්ශන් ධර්මරාජ් ලොකු කැප කිරීමක් කළා. ඔහුවත් මේ වෙලාවේ මතක් වෙනවා වගේම ලොකු වේදනාවක් එනවා වගේම අනේ අද හිටියා නම් අපිත් එක්ක මේ සතුට බෙදාගන්නවා කියලා හිතෙනවානේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment