ලංකාවෙම ආර්ථිකය කඩා වැටෙද්දි ගල් ඔය යෝධයාගෙන් ගිඟුරාණට බෝනස් පිට බෝනස්…

1971

හිඟුරානේ සීනි තිත්ත නැහැ…
වසරක ලාභය මාස හයෙන් උපයයි…
ලංකාවේ විශාලතම කොම්පොස්ට් නිෂ්පාදනය…
කොරෝනාවලට වැහුවෙත් නැහැ, තෙල් නැතුව වැහුවෙත් නැහැ…
වැහුන කර්මාන්ත ශාලා රජයත් සමග එක්ව ගොඩනගන අලුත්ම මොඩලය…

නැගෙනහිරටම ශක්තියක් වූ දිගාමඩුල්ලේ යෝධයන් දෙදෙනෙක් සිටින්නට විය. ගල්ඔය දෙවියන් විලසින් අදටද දිගාමඩුල්ලේ ජනයාගේ හදවත් තුළ විරාජමාන වන ඩී. එස්. සේනානයක මැතිඳුන්ගේ ගල්ඔය ව්‍යාපාරය යටතේ ඉදිවුන හිඟුරාණ සීනි යෝධයා හැටේ දශකයේ සිට දශක කිහිපයක් දිගාමඩුල්ලම පෝෂණය කළේ මහා අභිමානයෙනි. කාලකණ්ණි අමන වෘත්තීය සමිති රැලක් එක්ව හිඟුරාණ සීනි සමාගම විනාශ කර දමා මළකඩ යකඩ ගොඩක් බවට පත් කළහ. ඔවුන් දිගාමඩුල්ලේ ආර්ථිකයම කාබාසිනියා කර ජන ජීවිතය මස්තබාල්දු කර දමන්නට වූහ.

එනිසා අම්පාරේ ජනයාට වැලේ වැල් නැති වන්නට විය. එදා වේල සරිකර ගන්නට නොහැකිව ඇතැමුන් ගස්ලබු තම්බාගෙන කන්නට වූහ. කන්කුන් තම්බාගෙන කෑහ. සීනි සමාගමේ නිලධාරි මහත්වරු සිකුරිටි රස්සාවන් සොයා යන්නට වූහ. ඇතැම් කාන්තාවන් දරු පැටවුන්ගේ කුස ගින්දර නිවාලන්නට ඇඟ විකුණූහ.

කන්තලේ සීනි යෝධයාද නැගෙනහිර බර එක් අන්තයකින් ඔසවා ගනිමින් කන්තලේ නොනිදන නගරයක් බවට පත් කර ජන ජීවිතය සුඛිත මුදිත කරවන්නට විය. රටකට මහා සම්පතක් වුණ කන්තලේ සීනි සමාගමද නරුමයින් එක්ව විනාශ කර දමා මරාගෙන කෑහ. අම්පාරේ ජනයා මෙන්ම ත්‍රිමලේ ජනයාද අන්ත අසරණ විය. කන්තලේ සීනි සමාගම රථ වාහන සිය දහස් ගණනක් සමගින් තවමත් මහා වන වදුළට යටත් වුණ මළකඩ කන යකඩ සුසානයකි. එය නැවතත් අරඹන්නට ඉඩ නොදුන් තක්කඩි නිලධාරීන් අල්ලස් ගන්නට ගොස් සිපිරි ගෙයි බතේ රස විඳිති.

වැසුණු කම්හලට නැවත ජීවය

2007 වසරේ මළකෑ දිගාමඩුල්ලේ යෝධයා හෙවත් හිඟුරාණ සීනි සමාගමට ජීවය දෙන්නට බාධක රැසක් මැදින් ගල්ඔය වැවිලි සමාගම නමින් එල්. ඕ. එල්. සී. සමාගම සහ බ්‍රවුන්ස් සමාගම එක්ව වැඩ අරඹන්නට විය. ඒ රජයේ කොටස් 51% සහ පුද්ගලික අංශයේ 49%ක දායකත්වය මතය. හිඟුරාණ සීනි කම්හල වසා දමා අවස්ථා දෙකකදී නැවතත් ආරම්භ කිරීමට යෑමේදී අතරමග වැඩ නතර වීම නිසා උක් ගොවීන් නැවතත් උක් වගාවට බිය වන්නට වූහ. උක් වගාවෙන් අධික ලාභයක් ගත හැකි වුවද සීනි කම්හලේ දුම් බටෙන් දුම් පිට වෙනකම් අපි උක් වගා කරන්නේ නැහැ යනුවෙන් බොහෝ ගොවීන් පැවසුවේ ඒ වන විටත් හිඟුරාණේ ගොවීන්ට සීනි තිත්තවී තිබුණ නිසාවෙනි.

ලංකාවෙම ආර්ථිකය කඩා වැටෙද්දි ගල් ඔය යෝධයාගෙන් ගිඟුරාණට බෝනස් පිට බෝනස්…

දහසක් වූ බාධක මැදින් 2012 වසරේ හිඟුරාණ සීනි සමාගමේ දුම් බටෙන් දුම්රොටු අහස් කුසට නැඟුණේ දිගාමඩුල්ල ගොවි ජනතාවට යම්තාක් දුරට විශ්වාසයක් ඇති කරලමිනි. සියලු බාධක අවසන් කරමින් මේ වන විට අක්කර විසි දහසක් පමණ නිල්වන් උක් ගසින් දිගාමඩුල්ලේ සරුපස වැසී ගොස් අවසන්ය. සියඹලාණ්ඩුව, මුල්ලේගම මහඔය ආදී බොහෝ ප්‍රදේශවල පොහොර අර්බුදයත් සමග බඩ ඉරිඟු ඇතුළු හේන් වගා කළ බොහෝ ගොවීන් අන්ත අසරණව සිටියහ. මේ වන විට ඔවුන් උක් වගා කිරීමට යොමුවීම නිසා අති විශාල ආදායමක් ලබා ගනිමින් සිටිති.

වාර්තා පිට වාර්තා තැබූ ගල්ඔය

එදා හිඟුරාණ නගරය සවස් වන විට පාලු සොහොන් පිටියක් මෙන් පාලුවට ගොස් තිබුණි. පාන් රාත්තලක්වත් විකුණාගත නොහැකිව ව්‍යාපාරිකයන් අන්ත අසරණ වන්නට වූහ. වෙළෙඳාම් බිඳ වැටෙන්නට වූහ. අද වන විට පාන් රාත්තල් වෙනුවට වාහන විකුණන ආයතන පවා හිඟුරාණේ ඇති වෙමින් මුළු දිගාමඩුල්ලට පමණක් නොව නැගෙනහිර ආර්ථිකයම පණ ගන්වන දැවැන්ත යෝධයා බවට පත්ව තිබේ.

රටේම ආර්ථිකය කඩා වැටෙද්දී ගල්ඔය යෝධයා අභිමානවත් ආකාරයෙන් සිය 1300ක්වූ සේවකයන් ඇතුළුව ගොවි පවුල් 8700 සමගින් වක්‍ර රැකියාවල නියළෙන 40,000කට අධික පිරිවරක් ආරක්ෂා කරමින් තම ශක්තිය ලොවටම පෙන්වන්නට විය. කොරෝනා වසංගතයට ලංකාවේ බොහෝ කර්මාන්ත ශාල මාස ගණනක් වසා දමද්දී ගල්ඔය වැවිලි සමාගම සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට විය.

ඉන්ධන අර්බුද හමුවේ තැන් තැන්වල් වාහන නතරව පොදු ප්‍රවාහන සේවයද බිඳ වැටිණි. රටම නැවතුනි. ඒත් ගල්ඔය නොනැවතිනි. උක් ප්‍රවාහනය කරන ලොරි රථ සහ ට්‍රැක්ටර් රථවලට සති ගණන් ඩීසල් පෝලිම්වල රැඳී ඉන්ධන කඳුළක් හෝ සොයා ගැනීමට නොහැකි අවාසනාවන්ත සමයක ගල්ඔය අඛණ්ඩව ඩීසල් ලබා දුනි.

සේවකයන්ට යතුරුපැදියකට පෙට්‍රල් බිඳක් හෝ හොයා ගන්නට අපහසුව සේවයට එන්නට නොහැකි විය. ගල්ඔය අර්බුදයට ලක්වූ සිය ආදරණීය සේවකයන්හට මවක මෙන් නිසි රැකවරණය දුනි. බස් රථ රැසක් යොදවා ප්‍රවාහන පහසුකම් නොමිලේම ලබාදී සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් සිය ඉලක්කයන් ඉහටත් උඩින් සපුරා ගන්නට වූහ.

වැසී ගිය යකඩ ගොඩකට නැවතත් ජීවය ලබා දෙමින් ආරම්භයේ සිටම ගල්ඔය වැවිලි සමාගම නිසි මගකට ගෙන ගොස් සාර්ථකත්වයේ හිනි පෙත්තටම රැගෙන යෑමට පුරෝගාමී වූ විධායක අධ්‍යක්ෂ දනේෂ් අබේරත්න මහතා සීනි සමාගම් භූමියේදී ‘දිවයින’ සමග මෙසේ දොඩමලුවන්නට වූවේය.

අපි 2007 වසරේ ගල්ඔය වැවිලි සමාගම බොහෝම අසීරුතා මැද අපි ආරම්භ කරලා ආපු ගමන අද සාර්ථක වෙලා තියෙනවා. මීට කලින් මෙම ආයතනය ආරම්භ කරන්න ගිහින් වැසී ගිය නිසා ණය ලබා ගන්න අපහසු වුණා. වසර 13ක කාලයක් බිලියන 13ක් වියදම් කරලා තමයි සැලසුම් කළ වකවානුවේ අපිට ලාභ ලබා ගන්න හැකි වුණේ. සීනි කිලෝව රුපියල් 85ට තියෙද්දී නිෂ්පාදන වියදම ඊට වඩා ඉහළ ගිහින් තිබ්බා. ඒ නිසා සීනිවලින් පමණක් මෙම ආයතනය ගොඩ ගන්න බැරිව තිබ්බා. 2018 වසරේ ඉස්කාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඒ හරහා විවිධ අතුරු නිෂ්පාදනයන් බිහි කිරීම තුළ අද සාර්ථක ආයතනයක් බවට පත් වුණා.

වැහිච්ච කර්මාන්තශාලාවක් නැවතත් ගොඩ ගන්න බැරිවෙයි කියලා කවුරුත් හිතත්දී, මැරිච්ච මනුස්සයකුට පණ දෙනවා වගේ වැඩක් අපි කළේ. රජයේ සම්පත් විකුණන්නේ නැතිව තියාගෙන පුද්ගලික අංශයත් සමග එකට එකතුව, පුද්ගලික අංශයේ ව්‍යාපාරික ඥානය යොදවලා වැහිච්ච කර්මාන්ත ශාලා නැවතත් ආරම්භ කරලා අති සාර්ථකත්වයට පත් කරන්න පුළුවන් කියලා ලෝකෙටම ආදර්ශයක් දුන්නා. ඒ නිසා මෙම නව මොඩලය හෙට දිනේ ලංකාවේ වැසී ගිය කර්මාන්තශාලවන් නැවතත් ආරම්භ කර ලාභ ලබන්න පුළුවන් කියලා පෙන්නන්න තියෙන හොඳම උදාහරණය තමයි ගල්ඔය වැවිලි සමාගම.

අපි වෙහස මහන්සි වෙලා වැඩ කරලා, නිවරදි තීරණ නිසි වෙලාවට ගෙන, පවතින සම්පත් උපරිමයෙන් භාවිතා කර, අනවශ්‍ය වියදම් අඩු කර ඉලක්ක හඹා යෑම නිසා ආයතනය අද මේ ආකරයෙන් දියුණුව තිබෙනවා. මේ වන විට 2013 සිට අප සමාගම සීනි මෙ. ටො. 1,53,708ක් නිපදවලා ඩොලර් මිලියන 92 ක්ද, 2018 සිට එතනෝල් ලීටර් මිලියන 24.7 නිපදවලා ඩොලර් මිලියන 69ක්ද විදේශ විනිමයක්ද ඉතිරි කර ගත්තා. දැවි තෙල් භාවිතය අඩු කර ජීව වායු භාවිතා කිරීමෙන් තවත් විශාල මුදලක් රටට ඉතිරි කරදීමට ගල්ඔය වැවිලි සමාගමට හැකි වුණා යැයි දනේෂ් අබේරත්න මහතා පවසා සිටියේය.

හිඟුරාණ සීනි කම්හල් වහල සූර්ය කෝෂවලින් වැසී ගොසිනි. ඉන් ජාතික විදුලි බල පද්ධතියට මෙ.වො. 3.75ක් ලබා දීමට නියමිතය. සීනි නිෂ්පාදනයේදී ඉවතලන උක් රොඩ්ඩ භාවිතා කරමින් මේ වන විටත් මෙ. වො. 2ක විදුලි බලයක් නිපදවා කර්මාන්තශාලාවේ භාවිතයට ගන්නා අතර එය මෙ.වො. 10ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සිදු වෙමින් තිබේ. වැසි නොමැති සමයේ විදුලි අර්බුද ඇතිව හිටු කියා පවර් කට් එද්දී නියන් සමයේ ගල්ඔයෙන් ජාතික පද්ධතියට විදුලිය දීමට කටයුතු කිරීම මහා මෙහෙවරකි.

ආයතනය වෙනුවෙන් මහා කැපකිරීමක් කරන, නොනිදන මිනිසා යන ආදර නාමයෙන් හඳුන්වන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරත් නන්දිත පෙරේරා මහතා මෙලෙස පැවසුවේය.

ලංකාවෙම ආර්ථිකය කඩා වැටෙද්දි ගල් ඔය යෝධයාගෙන් ගිඟුරාණට බෝනස් පිට බෝනස්…

හිඟුරාණ සීනි සමාගම 1978 වසරේදී උක් මෙටි්‍රක් ටොන් 2,24,608ක් අස්වැන්නක් ලබා සීනි මෙටි්‍රක් ටොන් 15735 උපරිමයක් අතීතයේදී වාර්තා කර තිබුණා. නමුත් මේ වනවිට ගල්ඔය වැවිලි සමාගම මගින් එම වාර්තාව 2014 වසරේ සිට බිඳ දමමින් 2022 අප්‍රේල් සිට මාස 06ක කාලසීමාවට උක් මෙටි්‍රක් ටොන් තුන් ලක්ෂ එක් දහසක් අඹරා සීනි මෙටි්‍රක් ටොන් 23640ක වාර්තාගත සීනි නිෂ්පාදනයක් සිදු කරනු ලැබුවා. 2022 අප්‍රේල් සිට 2023 මාර්තු මාසයේ මුල වර්ෂය අවසානයේදී උක් මෙටි්‍රක් ටොන් හාර ලක්ෂ හැට නම දහසක් අඹරා සීනි මෙටි්‍රන් ටොන් 32824ක වාර්තාගත සීනි නිෂ්පාදනයක් කරන්න කටයුතු යොදා තිබෙනවා.

මේ වන විට ඉස්කාගාරය මගින් එතනෝල් නිපදවා ඉවතට යන දේ යොදා ජීව වායු නිපදවීම, කාබන් ඩයොක්සයිඩ් නිපදවීම, මත්ස්‍ය ආහාර නිෂ්පාදනය, ජෛව ඉන්ධන වැනි අතුරු නිෂ්පාදනයන් සිදුකිරීම අරඹා තිබෙනවා. සීනි නිෂ්පාදනයෙන් ඉතිරි වන දේ යොදා නිසි ප්‍රමිතියෙන් යුතු ලංකාවේ විශාලතම කාබනික පොහොර නිෂ්පාදකයා බවට පත් වෙමින් වසරකට කාබනික පොහොර ටොන් 5000 ක් නිපදවනවා.

ගොවීන්ට ආයතනය මගින් බිම් සකස් කර, බීජ ලබාදී, පොහොර ලබාදී වගාවන්ට අවශ්‍ය සහය ආයතනය තුළින් නිබඳව ලබා දෙනවා. ඒ වාගේම ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම සඳහා පෙරමුණ ගනිමින් වැටේ වගාව තුළින් සහ උක් වගාව අතරේ කව්පි, මුං ඇට, රට කජු, කොමඩු වැනි විවිධ වගාවන් සිදු කිරීම මගින් උක් වගාවට අමතරව අතිරේක ආදායමක් අද උක් ගොවීන් ලබා ගන්නවා. පොහොර අර්බුදය මැද ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දෙමින්, ගැඩවිලි දියර පොහොර, පාංශු ක්‍රීයාකාරීත්වය දියුණු කිරීම සඳහා හිතකර ක්‍ෂුද්‍රජීවීන් ලබා දීම, උක් ගසේ දල්ලෙන් ගවයන්ට ආහාර පවා නිපදවෙමින් ගල්ඔය වැවිලි සමාගම අද ලංකාවේ නිෂ්පාදන විවිධාංගීකරණයට ලක්වුණ එකම සීනි ආයතනය බවට පත්ව තිබෙන්නේ නිලධාරීන් ඇතුළු සේවක පිරිස දිවා රෑ නොබලා කටයුතු කිරීම නිසා යැයි සුරත් පෙරේරා මහතා කීවේය.

හඳේ යන්නට මෙන් බරැති විශාල පොත් බෑගයක් එල්ලා ගෙන කුස ගින්දරින් පාසල් යන, බොහෝ සිසුන් මෙම දිනවල බඩගින්නේ කලන්තේ දා වැටෙති. මස්, මාළු තබා බිත්තරයක් ගෙදරක දකින්න නොමැති කලක ආදරණීය දූ පුතුන්ගේ පෝෂණය වෙනුවෙන් මස් සහ බිත්තර සමගින් පෝෂ්‍ය ගුණයෙන් සපිරි ඉතා ප්‍රණීත දිවා ආහාර වේලක් අම්පාර දිසත්‍රික්කයේ පාසල් 30කට පමණ ලබාදීම නිසා පාසල් දරුවන් මෙන්ම දෙමව්පියන් ඇතුළු ගුරු මව් පියවරු ගල්ඔයට සිය ස්තුතිය පුද කර සිටිති.

සේවකයන් ආයතනයට සම්පතක් බවට පරිවර්තනය කරමින් ආයතනයට ලැදි සේවකයන් පිරිසක් බිහිකරමින් ගල්ඔයට ජීවය ලබා දුන් පරිපාලන, වැවිලි, මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුණ මධුෂාන් මහතා මෙලෙස පැවසුවේය.

වෘත්තීය සමිති වෙනුවට මානව සබඳතා කමිටුවක් අපි නිර්මාණය කරා. ඒ, ඒ අංශ වලින් ඡන්දයෙන් පත් වන නියෝජිතයන් මසකට වතාවක් පරිපාලනයත් එක්ක සාකච්ඡා කරමින් ගැටලු විසඳමින් පහළ සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා එකාවන්ව යන ශක්තිමත් ගමන තමයි අපි යමින් තිබෙන්නේ. අපි ආයතනයක් ලෙස වසර කිහිපයක සිට ලාභ ලබන්න ගත්තා. ඒ ප්‍රතිලාභ සේවකයන් නොහිතන ආකාරයට ලබා දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් අත්තිකාරම් බෝනස් මුදල වැටුප මෙන් හතර ගුණයක් සහ අප්‍රේල් බෝනස් මුදල වැටුප මෙන් හතරහමාරක් සේවකයන්ට ලබා දුන්නා. මෙම වසරේ දෙසැම්බර් අත්තිකාරම් බෝනස් මුදල වැටුප මෙන් අට ගුණයක් ලබා දුන්නා. ඒ වාගේම අප්‍රේල් බෝනස් මුදලද එවැනි අති විශාල, දැවැන්ත බෝනස් මුදලක් ලබාදීමට හැකිවේවි.

ලංකාවේ කිසිම වගාවක මිලදී ගත්තයින් පසු ඒ වෙනුවෙන් දෙවනුව කිසිම මුදලක් නැවත ගෙවන්නේ නැහැ. නමුත් ගල්ඔය අපි මෙවර අප්‍රේල් මාසයේ සිට මේ දක්වා උක් අස්වැන්න සැපයූ ගොවීන්ටත් උක් ටොන් එකක් සඳහා රුපියල් 225ක අත්තිකාරම් බෝනස් මුදලක් ප්‍රදානය කළා. ඒ ආකාරයට ඉදිරි අප්‍රේල් මාසයේදී ගොවීන්ට තවත් බෝනස් මුදලක් ප්‍රදානය කරනවා.

මේ සියල්ල අපි කළේ රටේම කර්මාන්ත ශාලා කොරෝනා සමයේ වසා දමද්දී, තෙල් අර්බුදය හමුවේ වසා දමද්දී ගොඩක් ආයතනවල වැටුප පවා ගෙවා ගන්න බැරිව තිබෙද්දියි වැටුපෙන් භාගයක් පඩි ගෙවන අවස්ථාවක අපි මේ ආකාරයෙන් දැවැන්තම බෝනස් මුදලක් සේවකයන්ට සහ ගොවීන්ටත් ප්‍රදානය කළා. 2022 අප්‍රේල් සිට 2023 මාර්තු මාසය දක්වා මූල්‍ය වර්ෂයේ අපේක්ෂිත ලාභය වූවේ මිලියන 3000යි. ඒ ඉලක්කය මාස 06 සපුරලා මිලියන 3600ක් ඉක්මවා යමින් අති සාර්ථක ගමනක් යෑමට ගල්ඔය වැවිලි සමාගමට හැකිව තිබෙනවා. 2010 සිට මේ දක්වා ආයතනයේ වැටුප් ලෙස මිලියන 5077ක්, උක් අස්වනු මිලදී ගැනීම්, උක් ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් සඳහා ආයතනය මේ වන විට මිලියන 6781ක් වැනි දැවැන්ත මුදලක් ගෙවා තිබෙනවා. ඒ වාගේම මොලැසස් බද්ද ලෙස රජයට මිලියන 894ක් ගෙවා තිබෙනවා යැයි වරුණ මධුෂාන් මහතා පැවසුවේය.

ආයතනයේ ඉහළ නිලාධාරීන් හා එක්ව කර්මාන්ත ශාලා ප්‍රධානී සමන්ත කුමාර, කෘෂිකර්ම ප්‍රධානි තුෂාර සමන් කුමාර, මූල්‍ය කළමනාකරු චතුරංග අමරතිලක, ඉස්කාගාර ප්‍රධානි නුවන් චතුරංග, ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී සිරිල් ගුණරත්න, වැවිලි කළමනාකරු බණ්ඩාර යන නිලධාරි මහත්වරුන් සෙන්පතියන් සේ දිව රෑ නොබලා අනෙකුත් නිලධාරීන් සහ සේවකයන් සමග එක මිටකට එක්ව කටයුතු කිරීමෙන් ගල්ඔය යෝධයා මෙලෙස පණ ගසා ඇත.

ලංකාවෙම ආර්ථිකය කඩා වැටෙද්දි ගල් ඔය යෝධයාගෙන් ගිඟුරාණට බෝනස් පිට බෝනස්…

මේ වන විටත් ගල්ඔයට පින් සිදුවන්නට වාරි පද්ධති, මාර්ග පද්ධති වෙහෙර විහාර පිළිසකර වෙති. ජල ගැටලුවෙන් පීඩා විඳි ගොවිබිම්වල වැව් අමුණු ඉදිවෙති. පාසල්, පල්ලි, කෝවිල්, දේවස්ථානවලට සෙත සැලසෙති. ගම්වල සමිති සමාගම්වලට උදව් උපකාර ලැබී ක්‍රීඩා පිට්ටනි සකසා ක්‍රීඩාවටද මහා දායකත්වයක් ගල්ඔය යෝධයාගෙන් ලැබෙන්නේ දිගාමඩුල්ල පමණක් නොව නැගෙනහිරම හුස්ම පොද බවට පත්වෙමිනි.

නැගෙනහිරම බැබළවුන සිය සහෝදර හිඟුරාණ සීනි යෝධයා නැවතත් සිය අභිමානය ලොවට පෙන්වද්දී තවමත් මළ කන කන්තලේ සීනි යෝධයා ඉකිබිඳිමින් සිටිති. ගල්ඔය ව්‍යාපාරයෙන් බිහිවුන ඉඟිනියාගල සහ චවලකඩේ වී මෝල් මරා දමා ඇත. වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හලද වසා දමා ඇත. මෙලස ලංකාව පුරා වසා දැමූ කර්මාන්තශාලා බොහෝ ඇත.

රට ඇත්තේ බිංදුවේය. රාජ්‍ය සම්පත් විකිණීමට ලොකු විරෝධයක් ඇත. රජයට ව්‍යාපාර කරන්නට බැරිබව ඔප්පුවී ඇත. ඒ නිසා සම්පත්වල අයිතිය රජයට තබා පුද්ගලික ව්‍යාපර ඥානය යොදා කර්මාන්ත ශාලා ගොඩනැන්විය හැකි බව ගල්ඔය අත්‍යවශ්‍යම මොහොතක කොයි කාටත් පසක් කර තිබේ. කළයුතු දේ පසෙක ළා ටොන් ගණන් කයිවාරු ගහන දේශපාලකයන් සහ පාලකයන් මෙය තේරුම් ගත යුතුව ඇත. වැසුණු කර්මාන්තශාලා ආරම්භ කරන්නට යද්දී අල්ලස් ගන්නට වලිකන තක්කඩි නිලධාරි උල තැබිය යුතුය. දැන්වත් වැසුණු කර්මාන්තශාලවලට පණ දිය යුතුව ඇත. එසේ නොකරනා තක්කඩියන්ගේ සොහොන්වලට පවා අනාගතයේදී හෙණ වැදෙනු ඇත.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment