ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන් තුන්වැනියා වුණ සඳනි

376

යමක් ලේසියෙන් අතහරින්නේ නැහැ

ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය පෙබරවාරි මස 20 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ලෝක නිරූපණ ශිල්පිනි- 2023 (Top Model The World-2023) තරගාවලියේදී තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රීලංකාවේ සඳනි පීරිස්ට හැකි විය.
22 හැවිරිදි සඳනි කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක බැලේ නර්තන උපදේශිකාවක් හැටියටද කටයුතු කරන්නීය. ඇය පසුගිය 07 වැනිදා උදෑසන 08.30ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටට පැමිණියාය. ඒ අවස්ථාවේ මේ ජයග්‍රහණය ගැන මීවිත පාඨකයන්ට කියන්න අපි ඇයව මුණගැසුණා.

ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන් තුන්වැනියා වුණ සඳනි

● අපි මුලින්ම සඳනි පීරිස්ව හඳුන්වා දෙමු?

මම පාසල් ගියේ සෙන් බි්‍රජට් කන්‍යාරාමයට. වයස අවුරුදු පහේ පටන් රුසියානු බැලේ නර්තනය ඉගෙන ගත්තා. ඉන් අනතුරුව වයස අවුරුදු දහසයේදි මම බැලේ නර්තන ආචාර්යවරියක් හැටියට කටයුතු කළා. මේ වයසෙදිම මට නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වෙන්නත් අවස්ථාව ලැබෙනව. මේ වන විට මට නිරූපණ අංශයෙන් ඉන්දියාවට යන්න අවස්ථාවක් ලැබිල තියෙනව. ඒ නිසාම මගේ නර්තන ඉගැන්වීමේ කටයුතු තාවකාලිකව නතර කරන්න සිදු වුණා. මේ අවස්ථාවේදී මම ප්‍රධාන වශයෙන්ම නිරූපණයට තමයි විශේෂ අවධානයක් යොමුකරල තියෙන්නෙ.

● පවුලේ තොරතුරු?

අම්මයි” මමයි” අයියයි තමයි අපේ පවුලේ ඉන්නෙ. තාත්තා අවුරුදු අටකට පෙර අපිට අහිමි වුණා. ඔහු රැකියාව කළේ නාවික හමුදා නිළධාරියෙක් විදිහට.

ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන් තුන්වැනියා වුණ සඳනි

● මේ තරගාවලියට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

මම ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාමයන්වලට වසර හතරක් නොකඩවා නිරූපණයෙන් දායක වෙලා තියෙනව. ඒ වගේම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පීන් සමගත් මම වැඩකරල තියෙනව. එවැනි අවස්ථාවක බ්‍රයන් කියන මෝස්තර නිරූපණ ශිල්පියා මට හඳුනාගන්න ලැබෙනව. ඒ හඳුනාගැනීම හරහා තමයි Top model in the world තරගයට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ.

රටවල් හතළිස් දෙකක් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි තැන දිනාගන්නව?

ඇත්තටම මට තවමත් හිතාගන්න බැහැ මම කොහොමද ඒක කළේ කියල. මේ තරගය වෙනුවෙන් උපරිමව කැප වෙලා මගේ දායකත්වය සියයට සියයක්ම ලබා දෙන්න මට හැකියාව ලැබුණ කියල මම විශ්වාස කරනව. නමුත් අදටත් මට ඒක පුදුමයක්.

කෑම බීම පාලනය කරන්න සිදු වුණාද?

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නව මොඩල්ස්ලා කෑම බීම පාලනය කරනව කියල. නමුත් එහෙම නැහැ. මොඩල් කෙනෙක් සමහර විට මුළු දවසම ෂුටිං. ඒකට ශක්තිය තියෙන්න ඕන. ශක්තිය ලැබෙන්න නම් හොඳට කන්න බොන්න ඕන.

ශ්‍රී ලංකාවෙන් ඔබට සහයෝගයක් ලැබුණද?

ඔව්” මට ලංකාවෙන් තමයි සම්පූර්ණ සහයෝගය ලබාදුන්නෙ.

ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන් තුන්වැනියා වුණ සඳනි

ඔබගේ ඇඳුම් ගැන කතා කළොත්?

මම මේ තරගයට ඇන්දෙ සම්පූර්ණයෙන්ම ලංකාවෙ ඇඳුම් නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කළ ඇඳුම්. ඔවුන් පුදුම වෙනව ලංකාවෙ මේ වගේ කොලිටි මැටීරියල් තියෙන එක ගැන” කොලිටි ඩිසයිනර්ස්ල ඉන්න එක ගැන. ඔවුන් මගෙන් අහනව මේව කොහෙන්ද ගත්තෙ කියල. මම ඇඳපු හැම ඇඳුමක්ම නිර්මාණයට දායක වුණ අයගෙ නම් කියල මම ඔවුන්වත් ඒ අවස්ථාවේදී අගය කළා.

බොහෝ නිරූපිකාවන් මෙවැනි අවස්ථාවල අඳින්නෙ ලොක්ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් සහිත ඇඳුම්. ඔබ අපේ රටේ අපේ දේ තෝරා ගන්නව?

මම මේ තරගයට යන්නෙ ලංකාව වෙනුවෙන්. ඉතිං මම ඇයි වෙන රටවල්වල ඒව අඳින්නෙ. මම අඳින්න ඕන මගේ රටේ ඇඳුම්. තරගයට ගියේ මම වුණාට මම නියෝජනය කරන්නෙ මගෙ රට. මම හයිෆැෂන් මොඩ්ල් කෙනෙක් වෙලා තියෙන්නෙ ලංකාව නිසා. ලංකාවෙ ඩිසයිනර්ස්ල නිසා. ඒ නිසා මම ක්‍රෙඩිට් එක දෙන්න ඕන ලංකාවට. ලංකාවේ අයට. අපේ දේ උපයෝගීකරගෙන මම මේ තරගයේ තුන්වැනි තැන දිනාගන්නව. ඒක මට ලොකු සතුටක්.

ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන් තුන්වැනියා වුණ සඳනි

ලංකාවෙන් ඔබට ලැබුණ පිළිගැනීම කොහොමද?

ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ මට්ටමේ පිළිගැනීමක් මට මගේ රටේදි ලැබුණ. ලංකාවට එන්න ගුවන්යානයට නැගුන වෙලාවේ පටන්මයි මට ඒ පිළිගැනීම ලැබුණෙ. මම ඒ රටේ දවස් දහහතරක් හිටියා. ඒ කාලය තුළ ලංකාවේ මාධ්‍ය මගින්” සමාජමාධ්‍ය මගින් මට ලොකු සහයෝගයක් ලබාදීල තිබුණ.

ඉදිරි සැලසුම් මොනවද?

ඉදිරියේදී ව්‍යාපෘති කිහිපයක්ම සැළසුම් කරගෙන යනව. ඒවා ගැන දැන්ම කියන්න බැහැ. මොකද තවම ස්ථිරව තීරණයක් අරගෙන නැති නිසා.

ඔබ නැවතත් විදේශගතවෙනව?

ඔව්” තව සති දෙකතුනකින් පස්සෙ මම විදේශගත වෙන්න තමයි අදහස් කරල තියෙන්නෙ. මේ තරගයටත් කලින් තමයි හයි ෆැෂන් සඳහා මම ඉන්දියාවට යන්න හිතාගෙන හිටියෙ. නමුත් තරගයත් එක්ක ඒ ගමන ටික දවසකට කල්දමන්න සිදු වුණා.

සඳනි මොන වගේ චරිතයක්ද?

සඳනි කියන්නෙ කවදාවත් යමක් ලේසියෙන් අතහරින්නෙ නැති. නිදහස් වගේම ශක්තිමත් තරුණියක්.

ආදරය” විවාහය ගැන අදහසක් තියෙනවද?

මම තව බොහෝ කාලයකට ඒ දේවල් ගැන හිතන්නෙ නැහැ.

ලංකාවේ නිරූපණ ශිල්පීන්ට මොකක්ද දෙන උපදේශය?

නිතරම තමන්ගෙ රටේ දේවල් අගය කරන්න. තමන්ගේ රටට තැනක් දුන්නොත් තමයි තමන්ටත් තැනක් ලැබෙන්නෙ. ඒ වගේම රටත් ඉදිරියට යන්නෙ.
මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment