ලංකාවේ ගැමි ජනකතා

1300

කර්තෘ: හෙන්රි පාකර්
පරිවර්තක : චන්ද්‍රශ්‍රී රණසිංහ
ප්‍රකාශනය : සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

ජනකතාව පුරාතනයේ සිටම පෙර’පර දෙදිග බොහෝ රටවල ජනයාගේ හද ඇද බැඳගත් සාහිත්‍යාංගයක්. ජනශ්‍රැති විද්‍යා ක්ෂේත්‍රය යටතට ගැනෙන ජනකතා අධ්‍යයනය ඇමරිකන්, ජර්මන්, එංගලන්ත වැනි රටවල විශ්වවිද්‍යාලයන්හි උපාධි විෂය මාලාවන්ට ඇතුළත් වී තිබීමෙන්ම මානව විද්‍යාව හා සමාජ විද්‍යාව අතින් එහි ඇති වැදගත්කම මොනවට පැහැදිලි වේ. ජනකතාව අප රට ජනයාගේ ද සිත් ගෙන ඇත්තේ ඈත අතීතයේ සිට වන අතර ජනකතා කීමත්, ඇසීමත් පොදු ජනයා අතර ඉතා ජනප්‍රිය විනෝදාංශයක් ලෙස පැවතී ඇති බවට බොහෝ සාධක ඇත. ඉංග්‍රීසි යටත්විජිත පාලන සමයේ වාරිමාර්ග ඉංජිනේරුවරයකු වශයෙන් මෙරටේ සේවය කළ හෙන්රි පාකර් මෙරට ජනකතා පිළිබඳව දක්වා ඇත්තේ සුවිශේෂී උනන්දුවකි. තමා සේවය කළ ලංකාවේ විවිධ පළාත්වල ගැමි ජනයාගේ මුවින්ම අසා එක්රැස් කරගත් ජනකතා සම්භාරය ඪසකක්ටැ ත්‍දකන ඕකැි බ දf ක්‍ැහකදබ නමින් වෙළුම් තුනකින් යුතුව ඔහු පළ කර ඇත්තේ 1910 දීය. ඒ දැනට අප සතුව තිබෙන විශිෂ්ටම ජනකතා එකතුව ලෙස සැලකෙන අතර පොදු ජනයාගේ රසාස්වාදයට මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නිරත වන්නන්ට ද ඉන් සැලසෙන්නේ ඉමහත් ප්‍රයෝජනයකි.

ලංකාවේ ජන සංස්කෘතිය හා සම්බන්ධ වැදගත් කෘති බොහොමයක් මෑතක් වන තුරු පළව තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. අප රටේ සිංහල භාෂාවෙන් ජනශ්‍රැති පිළිබඳ පර්යේෂණයන්හි නිරත විද්වතුන්ට ඒවා සිංහලට පරිවර්තනය වී නොතිබීම අවාසියක් විය. මෙවන් පසුබිමක් තුළ චන්ද්‍රශ්‍රී රණසිංහයන් විසින් මෙම ජනකතා සංග්‍රහය සිංහලට පරිවර්තනය කිරීම මගින් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට ඉඩකඩ පෑදී තිබේය යන්න සඳහන් කිරීම යුක්ති යුක්ත වේ. පාකර්ගේ කෘතිය පරිවර්තනයේදී රණසිංහසූරීන් ඒ සඳහා යොදාගෙන ඇති ගැමි යෙදුම් හා ගැමි වදන්වලින් පරිපෝෂිත සරල බස් වහර නිසා සෑම ජනකතාවක්ම මැළිකමකින් තොරව එක එල්ලේ කියවාගෙන යෑමට පාඨකයාට ඉඩ සැලසී තිබේ. 2010 වසරේදී පළවූ හොඳම ශාස්ත්‍රීය පරිවර්තනය වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට මෙය පාත්‍ර වීමට මුල් කෘතියේ ශාස්ත්‍රීය හා සාහිත්‍යමය වැදගත්කම හා සමානව පරිවර්තනයේ සැමට හා රසවත් භාෂා ශෛලීය ද හේතු වන්නට ඇති බව නිසැකය.

අදාළ ජනකතාවේ අන්තර්ගතයට අනුව මාතෘකා යොදා තිබීම ද සිත්ගන්නා සුළුය. “ගමරාළගෙ කෙලි පොඩ්ඩි (අංක 78), මොට්ටයා රජවූ හැටි (අංක 86), මුහුණු හතරේ රජු සහ ඉබ්බා (අංක 166) වැනි කතාන්දර ඊට නිදසුන්ය. මෙහි සෑම කතාවක්ම කුතුහලය දනවන අයුරින් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම කතා කියවනවාට වඩා ඒවායේ සිංහල පරිවර්තනය මගින් කියැවීමෙන් වඩාත් තීව්‍ර ආස්වාදයක් ලබාගත හැකි වනවාට සැකයක් නැත.

බොහෝ ජනකතා අභව්‍ය සිදුවීම්වලින් ගහන වුවද ඒවා මගින් මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩවල යථාර්ථ ස්වභාවය හෙළි කරන අතරම ඇතැම් විට සියුම් උපහාසයක් ද මතු කරයි. අනුවණ ක්‍රියා හේතුවෙන් දඬුවම් ලැබීමට සිදුවන ආකාරය, දුරදිග බලා කටයුතු කිරීමේ වැදගත්කම වැනි ගුරුහරුකම් රැසක් මේ ජනකතා අනුසාරයෙන් උගත හැකිය. එබැවින් මෙම ජනකතාවල අරමුණ වී ඇත්තේ හුදෙක් කතා රසය ලබාදීම පමණක් නොවන බව පෙනී යයි.

ආකෘතිය අතින් බලන විට සෑම ජනකතාවකම ඒකාකාරී ස්වරූපයක් දැකිය හැකිවීම ඒවායේ පොදු ලක්ෂණයකි. අපගේ පන්සියපනස් ජාතක පොතෙහි එන කතා ද ඒ හා සමානය. පොදු සිංහල පාඨකයාගේ අවධානයෙන් බොහෝ කලක් සැඟව තිබූ මෙම ජනකතා එකතුව ඔවුන් හමුවේ විවර කර තැබීමෙන් චන්ද්‍රශ්‍රී රණසිංහයන් කර ඇත්තේ මහඟු සාහිත්‍ය මෙහෙවරකි. කෙටි කලක් තුළ පාඨක ජනයාගේ රුචිය දිනා ගත් මෙම වෙළුම් තුන ප්‍රකාශයට පත් කර ඇත්තේ සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයොා් (පුද්) ප්‍රකාශන ආයතනය මගින් වන අතර එහි නවතම මුද්‍රණය නොබෝදා එළිදැක්විණි.

● සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment