ලංකාවේ තේ කර්මාන්තය කඩා වැටෙන හේතුව

955

ලක් පොලොව කැණ මතුකර ගන්නා අනගි මිණිකැට සේම ලක් පොලොව මතුපිට සාරවත් පස මත වගා කරන තේ ගස හේතුවෙන්ද මෙරට නාමය රට රටවල ප්‍රචලිත වීම පිණිස බෙහෙවින් බලපාන ලද කාරණාසේ ගැනිය හැක. ඒ අනුව මෙරටින් මතුවන විවිධ වර්ගයන්ට අයත් අගනා මිණිකැට ලොවක් වසඟයට පත් කළ කාරණාවක් වූවා සේම ශ්‍රී ලාංකික තේ රසය විසින් ලොවක් රසවත් කළ බව නොරහසක්ය. එබැවින් මෙරට තේ වගාවේ රසවත් සාරය ලොව අන් කිසිදු රටක තේ රසයට නො දෙවෙනි වූ යුගයක් විය. එම ඉතිහාසය වසර 200 ක් තරම් ඈතට දිවයන්නක්ය. 1824 වර්ෂයේදී පළමු වතාවට බ්‍රිතාන්‍යය ජාතිකයකු විසින් තේ පැළයක් ලංකාවට ගෙන ආ අතර එය රෝපණය කරනු ලබන්නේ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේය.

එතැන් සිට දශක දෙකක කාලයක් ගතවන තුරු මෙරට තුළ තේ වගාව එතරම් ප්‍රගතියක් පෙන්නුම් නොකළ අතර එයට වගාවක් ලෙස වාණිජමය මුහුණුවරක් එකතු කරන ලද්දේ ස්කොට්ලන්ත ජාතිකයකු වූ ජේම්ස් ටේලර් විසින්ය. 1867 වසරේදී ඔහු විසින් ලූල්කඳුර වතු යායේ අක්කර 19 ක තරම් තේ වගාවක් ආරම්භ කිරීමත් සමග වාණිජ වගාවක් සේ එය ප්‍රචලිත වීමට ගැනීම හේතුවෙන් එතෙක් කලක් කෝපි වගාවට මුල් තැනක් දුන් වගාකරුවන් බොහෝ පිරිසක් ක්‍රමයෙන් තේ වගාව පිණිස යොමු වූහ. එතැන් සිට මෑතක් වන තුරුම මෙරට තේ (Ceylon Tea) ලොවක් රසවත් කළ පානයක් ලෙස පැවති අරත ඒ පිළිබඳ ඉතිහාසයද මෙරට තේ රසය තරම් රසවත් බවකින් යුක්තව පැවතුණි.

මෙතැන් සිට තවදුරටත් හෙළිදරව් කරනු ලබන්නේ එහෙව් රසවත් ඉතිහාසයක් හිමි වගාවක් වූ මෙරට තේ වගාවට මේ වනවිට අත්වෙමින් පවතින සරදම්කාරී ඉරණම පිළිබඳ වන අප්‍රසන්න කතාවය. එය මෙරට තේ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමාණය දැක්වෙන සංඛ්‍යා ලේඛණ ආදියෙන් එහා පවතින ප්‍රායෝගික ක්‍රියාවලියක් පිළිබඳ කතාවක්ය. වගා භූමියෙන් නෙළා ගන්නා තේ දල්ල තේ කොළ බවට පත්වීම දක්වා සිදුවන දීර්ඝ ක්‍රියාවලියේ ගුණාත්මක බව අඩුවීම සිදුවන්නේ කෙසේද, එය මෙරට තේ කර්මාන්තයේ අනාගතය තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම හෙළිදරව්ව හරහා අනාවරණය කරනු ලබන්නේ එමගින් හෝ තේ දල්ලට සිදුවන දහසකුත් එකක් අතවරයන්ගෙන් එය ආරක්‍ෂා කර ගැනීම පිණිසය.

වසර 20කට ආසන්න කාලයක් තේ වගාව තම ජීවිතය කරගත් ඔහු මේ වන විටද පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක ක්‍ෂේත්‍ර නිලධාරියෙක් ලෙස රාජකාරි කරන්නෙක්ය. ඔහු සඳහන් කර සිටින්නේ මෙරට තේ කර්මාන්තය මේ වනවිට පත්ව ඇති තත්ත්වයට තේ
වගාකරුවාගේ සිට මහා පරිමාණ තේ ව්‍යාපාරිකයා දක්වා සියල්ලන්ම වගකිව යුතු බවය. වරද දුටු තැන එක් පාර්ශ්වයක් මත පමණක් එය පැටවීම හේතුවෙන් එම වරද බරපතළ වරදක් දක්වා වර්ධනය වන බවත් මෙරට තේ කර්මාන්තය මේ වනවිට මුහුණදී සිටින්නේ එම කටුක සත්‍යයට බවත්ය. නම් ගම් සහිතව එම හෙළිදරව්ව සිදු කිරීමට තරමක් මැලිකමක් දැක්වූ ඔහු තමන් දන්නා කතාව අප හමුවේ හෙළිදරව් කරන්නට වූවේ රහස්‍යභාවය සුරකින බවට ලබා දුන් පොරොන්දුවෙන් අනතුරුවය.

‘තේ ගහ කියන්නේ දරුවෙක් වගේ ආදරයෙන් බලාගන්න ඕන දෙයක්. එතකොට තමයි තේ ගහ අපට සාර සම්පත ප්‍රධානය කරන්නේ. නමුත් අද වගාවක් ලෙස තේ වගාව ඇතුළෙ ලොකු තරගකාරීත්වයක් පවතිනවා. ඒකෙ වගකීම තේ කර්මාන්ත ශාලා භාර ගන්න ඕන. ගුණාත්මක බව වෙනුවට ප්‍රමාණාත්මක බවට මුල් තැනක් දීලා තේ වගාකරුවන් අතර ඒ තරගය හැදුවෙ කර්මාන්ත ශාලා හිමියන් විසින් කියල තේ වගාවෙ ඉනන ඕන කෙනෙක් දන්නව. අපේ රටේ තේ නිෂ්පාදනය පිණිස මේ වන විට සක්‍රීය දායකත්වයක් දක්වන්නෙ කුඩා තේ වතු හිමියන්.

ඒ අයට පෝර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනව. ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේවට උත්තර හොයාගෙන ගියාම ඒ සඳහා පත්කරලා ඉන්න නිලධාරීන්ගෙන් ලැබෙන්නේ පොතේ උත්තර. තේ වගාවට පොත් පෙරළ පෙරළ උත්තර හොයන්න බෑ. ගොවිය මොකද කරන්නේ. තමන්ට ගන්න පුළුවන් ලේසිම උත්තරේ තෝරගන්නව. දෙකහමාරේ දල්ල කඩන්න පුළුවන් නම් තේ ගහටත් හොඳයි. ඒ වගේම ඒකෙන් නිපදවන තේ කොළ ටිකක් හොඳ ගුණාත්මක බවින් යුක්තව නිපදවා ගන්නත් පුළුවන්. නමුත් දෙකහමාරෙ දල්ල අදෙනකම් බලන් හිටියොත් ඒ මනුස්සයට වේල් තුන කන්නවත් නැති වෙනවා. මොකද නිසි පෝෂණය නැති හින්දා ගහ දලු දෙන්නේ නෑ. ඉතින් මොකද කරන්නේ දලු මෝරනකම් ඉඳල තමයි අස්වැන්න නෙළන්නෙ. එහෙම නෙළා ගන්න ඕනම දල්ලක් ගන්න තේ කර්මාන්ත ශාලා ඕන තරම් තිබෙනවා. මේ චෝදනාව හැම තේ කර්මාන්ත ශාලාවකටම අදාළ වෙන්නේ නෑ. අන්න ඒ ප්‍රමිතියෙන් තොර දල්ල මිලදී ගැනීම ආරම්භ කිරීමත් එක්ක තමයි මේ කර්මාන්තයේ කඩා වැටීමත් ආරම්භ වෙන්නේ. අර කතාවක් තියෙනවානෙ මුල හොඳනම් අගත් හොඳයි කියල ඒක කොයි දේටත් වලංගු කියමනක්. එතකොට තමන් නිරත වගාවට මුල්ම හානිය කර ගන්නේ තේ ගොවියා විසින් කියල දැන් පැහැදිලි වෙනවනෙ. ඒක හිතා මතාම ගොවිය විසින් කරන්නේ වෙන කරන්න දෙයක් නැති කමට. ඒ නැතුව රටේ තේ කර්මාන්තය විනාශ කරන්න ඕන කියන සාහසික නැඟීමෙන් ඒක කරනවා නොවෙයි.’

එලෙස ප්‍රමිතියෙන් තොර තේ දලු නෙළීමෙන් අනතුරුව තොග වශයෙන් එම දලු තේ කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමේදී එහි පවතින අවිධිමත් භාවය පිළිබඳව ද ඔහු විසින් විස්තර කරන්නට විය.

දලු ටික කඩා ගත්තට පස්සේ ඒ ටික දලු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වෙත හෝ කර්මාන්ත ශාලාවක් වෙත යවන්න ඕන. එතනදීත් දලු අස්වැන්නට බරපතළ හානි රැසක් වෙනව. කිලෝ දහයක් පහළොවක් දාන්න පුළුවන් දලු ගෝනියට කිලෝ විසිපහක් තිහක් පටවන එක අපේ රටේ පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා. ඊට අමතරව බර වැඩි කරගන්න වතුරත් ගහල තියෙන දලු ටික කිටි කිටියෙ හිර කරලා ලොරියට පටවද්දීම ඒ දලුවල ප්‍රමිතිය තවත් වටයකින් බාල වෙනවා. විධිමත් ඇසුරුම් ක්‍රියාවලියක් නැතිකම හින්ද තමයි එහෙම වෙන්නෙ. මොකද ප්‍රමිතිය පිළිබඳ දැනුවත් කිරීම අපේ රටේ හරි අඩුයි. එහෙම දැනුවත් කිරීම් සිදු කළත් ඒව නොසලකා හරින තත්ත්වයක් තමයි බහුලව දකින්න ලැබෙන්නේ. එහෙම ගෙනියන දලු අමුතුවෙන් කර්මාන්ත ශාලාවෙ අඹරන්න දෙයක් නෑ. තැලුණු පොඩිවුණ දලු තමයි කර්මාන්ත ශාලාවට යන්නෙ. දල්ලක තිබිය යුතු නැවුම් බව එතැන නැහැ. අර ගුණාත්මක බවට බරපතළ හානියක් එතනදීත් සිද්ධ වෙනවා. මෙතනින් එහාට වෙන ක්‍රියාවලිය මම විස්තර කරන්න යන්නේ නෑ. මොකද මමත් රස්සාව කරන්නෙ තේ කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව හින්දා ඒ රහස් එළියට දෙන එක සදාචාරාත්මක නැහැ. ඒ හින්ද වෙනත් පාර්ශ්වයක් හෝ පුද්ගලයෙක් මාර්ගයෙන් ඒ තොරතුරු ටික හොයාගන්න.’

දලු එකතු කිරීමේදී අතරමැදියන් විසින් සිදු කරන යම් යම් අක්‍රමිකතා කීපයක්ද පවතින බව අවධාරණය කළ අප කතානායකයා ශ්‍රී ලාංකික තේ වෙළෙඳපොළ කඩා වැටීමට එයද යම් හේතුවක් බවට පත්වන බවත් මේ සියලු කාරණාවන්වලට මුල බල්ලො මරා හෝ සල්ලි හෙවීමට බොහෝ දෙනකු පෙළඹී සිටීම මේ සියල්ලටම හේතුව බවත් සඳහන් කරමින් අපෙන් සමුගත්හ.

තේ කර්මාන්තශාලා තුළ සිදුවන අප්‍රකට දේ පිළිබඳ සොයා බැලීම අප වෙත පවරමින් එම කතාබහ නිමාවට පත්වීමත් සමඟ තේ කර්මාන්ත ශාලා තුළ සිදුවන බව පැවසෙන යම් යම් අක්‍රමිකතාවයන් සොයා බැලීමට අප උත්සුක විය. තේ කර්මාන්ත ශාලා හිමියන් කීප දෙනකු ගෙන් ඒ පිළිබඳ විමසීමක් කළද සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ඒ කිසිවෙක් තුළ නොවූහ. ඔවුන් සඳහන් කර සිටියේ ඇතැම් කර්මාන්තශාලා හිමිකරුවන් ප්‍රමිතියෙන් තොර තේ කොළ නිෂ්පාදනයට යොමු වීම හේතුවෙන් සමස්ත කර්මාන්තයටම එකී බලපෑම එල්ලවී ඇති බවත් එහි වගකීම ඔවුන් විසින් භාරගත යුතු බවත්ය.

ඉන් අනතුරුව අපගේ අවධානය යොමු වූවේ ඔවුන් සඳහන් කළ ඇතැම් තේ කර්මාන්තශාලා හිමියන් වෙතය. ඔවුන් පිළිබඳව කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව හෙළිවූ කරුණුවලට අනුව එම කර්මාන්ත ශාලා දලු මිලදී ගැනීමේදී මේරූ නෙමේරූ වර්ගීකරණයකින් තොරව දලු මිලදී ගැනීමේ නිරතවන ආකාරය නිරීක්‍ෂණය කළ හැකි විය. එතැන් සිට සිදුවන සමස්ත ක්‍රියාවලියට නිසි ක්‍රමවේදෙයකින් තොරව සිදුවන අතර නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳව විමසිලිමත්වීමක් දකින්නට නැත. නිසි ප්‍රමිතියකට අනුව ඉහළ කාර්යක්‍ෂමතාවයක් යටතේ තේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා බහුලව ක්‍රියාත්මක වන වටපිටාවක ඇතැම් තේ කර්මාන්ත ශාලා තම නිෂ්පාදන කටයුතු අවිධිමත් ලෙස සිදු කරමින් පවතින්නේ පවතින තරගකාරීත්වයට මුහුණ දීම පිණිසත්, අධික ලාභයක් ඉලක්ක කර ගනිමින් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය කරගත හැකි විය. තම නිෂ්පාදනයන්හි බර සහ රස වැඩිකර ගැනීම පිණිස සීනි සහ වෙනත් රසකාරක භාවිතා කිරීම නිසියාකාරව ජල වාෂ්ප ඉවත් නොකිරීම ආදී ක්‍රියාවන්ද එවැනි කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිරන්තරයෙන් දකින්නට ලැබෙන ලක්‍ෂණ බවට පත්ව ඇත. ඊට අමතරව තේ කර්මාන්තය නඟාසිටුවීම පිණිස රජයෙන් පත් කර සිටින නිලධාරීන්ව සුරතල් කරන එවැනි කර්මාන්ත ශාලා හිමියන් ඔවුන්ගේද අනුදැනම සහිතව එම අකටයුතුකම්වල නිරතවන බවද අප විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තවත් වැදගත් කරුණක් විය.

මේ ආකාරයට හොඳ සහ නරක යන අංශ දෙකෙහි එකතුවක් ලෙස නිෂ්පාදනය වන මෙරට තේ සඳහා කසළ තේ කලවම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ද ක්‍රියාත්මක වීම හේතුවෙන් ලොවක් රසවත් කළ මෙරට තේ රසය ලෝකය හමුවේ කෙමෙන් ප්‍රතික්‍ෂේප වෙමින් ඇත.

මේ සියලු කාරණා හේතුවෙන් ලොව බහුලම තේ පානය කරන රටවල් තම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම පිණිස තේ නිෂ්පාදනය කරනු ලබන වෙනත් රටවල් වෙත යොමුවීමක් සිදුවෙමින් පවතින අතර ඉදිරියේදී එය මෙරට පණ අදින ආර්ථිකයට එල්ලවන මරු පහරක් බවට පත්වීමට නියමිතය. දැනටමත් එහි බලපෑම මෙරටට දැනෙමින් පවතින අතර එහි වගකීම භාර ගැනීමට තවමත් කිසිවෙක් ඉදිරිපත් වී නැත. එක් එක් පාර්ශ්වය වෙත බෝලය පාස් කර ගනිමින් ඇඟ බේරා ගැනීම මාදිලියක් බවට පත් කරගත් රටක එවැනි දේ පිළිබඳ පුදුම විය යුතුද නැත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment