ලංකාවේ පළමු සය දරු උපත… ‘අපේ කැදැල්ලට අලෝකය ලැබුණා’ හයක් උපද්දා සතුටු සුව කැන්දා…

1361

ප‍්‍රභාත් – දිලිනි යුවළ

වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලයේ 40 දෙනෙක් එක්ව කළ සැත්කමක්
විවාහ වෙලා තියෙන්නේ මංගල යෝජනාවකින්
පළමු උපත අලූයම 12.16 ට
මුල් දරුවාගේ බර කිලෝ 1 යි ග‍්‍රෑම් 600 යි
අවසන් දරුවගේ බර ග‍්‍රෑම් 830 යි
දරුවන් සුවෙන් – එක් අයකුට පමණක් ශ්වසන අපහසුතාවක්
ගැබිනි සමයේදී ෆයිසර් එන්නත අරන්



ලංකාවේ පළමු සය දරු උපත... ‘අපේ කැදැල්ලට අලෝකය ලැබුණා’ හයක් උපද්දා සතුටු සුව කැන්දා...
සැමියා වන ප‍්‍රභාත් උදයංග අදහස් දක්වමින්…

බිරිඳට දරුවෝ හයදෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් විට ඇතිවූ සතුට දෝරෙ ගලා ගියේ ඊයේ (21 දා) දරුවෝ හයදෙනාගේ මූණු දුටු විට යැයි සය නිවුන් දරුවන්ගේ පියා වන 35 හැවිරිදි ප‍්‍රභාත් උදයංග මරවනාගොඩ මහතා පැවසීය.

මෙරට පෞද්ගලික රෝහලකදී සිදු කළ පළමු සය නිවුන් දරු උපත මෙය වෙයි. 30 හැවිරිදි දිළිණි වාසනා මහත්මිය ඊයේ (21 දා) අලූයම 12.16 ට ප‍්‍රසූත කළ දරු උපත සම්බන්ධව ඇයගේ සැමියා වන ප‍්‍රභාත් සිය අත්දැකීම් එසේ පැවසුවේ නාරාහේන්පිට නයින්වෙල්ස් රෝහලේදී ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවේදීය.

වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ප‍්‍රභාත් සහ බිරිඳ දිළිණිගේ උපන්ගම වවුනියාවය. මේ වනවිට ඔවුහු අයි. ඞී. එච්. ප‍්‍රදේශයේ පදිංචිව සිටිති.

මංගල යෝජනාවකට අනුව සිදුවූ විවාහයෙන් ඔවුනට ලද පළමු දරු ප‍්‍රසූතිය මෙම සය නිවුන් දරු උපත බව ද ප‍්‍රභාත් පැවසීය.

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මාතෘ සායනයේ මවක වන දිළිණිට ඊයේ ලද දරුවන් සය දෙනා පුතුන් තිදෙනකු සහ දියණියන් තිදෙනකු ලෙසින් හිමිව ඇත.

ලංකාවේ පළමු සය දරු උපත... ‘අපේ කැදැල්ලට අලෝකය ලැබුණා’ හයක් උපද්දා සතුටු සුව කැන්දා...
දරු ප‍්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමට එක්වූ මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම

සිසේරියන් සැත්කමකට අනුව බිහි කළ මෙම දරුවන් හය දෙනාගෙන් ඊයේ අලූයම 12.16 ට පළමුව ලබාගෙන ඇත්තේ ගැහැනු දරුවකුය. ඉන්පසු 12.17 ට සහ 12.18 යන විනාඩි දෙක තුළ සෙසු දරුවන් පස් දෙනා ලබාගත් බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසීය.

පළමුව ලබාගත් දරුවාගේ බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 600 ක් බවත් අවසානයට බිහි කළ හයවැනි දරුවාගේ බර ග‍්‍රෑම් 830 ක් බවත් පැවසූ මහාචාර්යවරයා මෙම සය නිවුන් දරු ගැබ වර්ධනය වීමත් සමඟ දිළිණිගේ බර කිලෝග‍්‍රෑම් 30 කින් වැඩි වූ බව පැවසීය.

මීට පෙර තමා නිවුන් දරු උපත් සම්බන්ධ සිසේරියන් සැත්කම් සිදු කර තිබුණත් සය දරු නිවුන් දරු සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව බව ද කීවේය.

මේ සම්බන්ධව අපට පෙර අත්දැකීම් තිබුණේ නැහැ. ඒ නිසා එක් දරුවකුට වෛද්‍යවරයෙක් සහ හෙදියන් තිදෙනෙක් බැගින් යොදාගෙන 40 දෙනකුගෙන් යුත් වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයකගේ සහාය මත මෙම දරු ප‍්‍රසූතිය සිදු කළ බව ද මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සඳහන් කළේය.

ලංකාවේ පළමු සය දරු උපත... ‘අපේ කැදැල්ලට අලෝකය ලැබුණා’ හයක් උපද්දා සතුටු සුව කැන්දා...

මව ගැබ් ගෙන සති 31 ක් සම්පූර්ණ වූ පසු ඊයේ මෙම ප‍්‍රසූතිය සිදු කළේ මවටත් දරුවන්ටත් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට බවත් ඒ මහතා පැවසීය. මේ සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රංජිත් දිසානායක, කායික රෝග විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංකර ජයවර්ධන, නව ජන්ම දරු පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමතිගේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛi බුද්ධිම ජයසිංහ යන මහත්වරුන්ගේ සහාය ලැබී ඇත.

මෙවැනි සංකීර්ණ දරු ප‍්‍රසූතියක් සඳහා නයින්වෙල්ස් රෝහලට මීට පෙර පහසුකම් නොතිබූ බවත් මෙම දරු ප‍්‍රසූතිය තම රෝහලේ සිදු කරන්නට මහාචාර්ය ටිරාන් ඩයස් මහතා තීරණය කළ විට ඒ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් රෝහල තුළ සකස් කළ බවත් රෝහලේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා පැවසීය.මේ වනවිට දරුවන් සයදෙනා සුවෙන් සිටින බවත් එක් දරුවකු තුළ සුළු ශ්වසන අපහසුතාවක් ඇති බවත් පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා ඔවුන් තව සති 03 ක් පමණ දැඩි සත්කාර ඒකකයේ සිටිය යුතු බවත් කීවේය.

පවතින කොවිඞ් වසංගතය නිසා දිළිණිට ගැබිනි සමයේදී ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙක ලබාදුන් බව සැමියා වන ප‍්‍රභාත් උදයංග සඳහන් කළේය.

උපාලි ද සේරම් ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment