ලංකාවේ පාතාලයන් 9 ක් ඉන්දීය කඳවුරකදී අල්ලයි

570

පාකිස්තානු ත්‍රස්ත කල්ලි සමග එක්ව ඉන්දියාවේ ප්‍රහාරයකට සැලසුම් කරලා

මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයන් වන කිඹුලා ඇළේ ගුණා, පූකුඩුකන්නා, බුම්මා, වැල්ලේ සුරංග, කොට ගාමිණී, ඇතුළු පාතාල ප්‍රබලයන් 09 දෙනකු ඉන්දියාවේ එළිමහන් කඳවුරක රඳවා සිටිය දී එරට ජාතික බුද්ධි ඒජන්සිය මගින් පෙරේදා (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල ප්‍රබලයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පකිස්තානයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමග එක්ව ඉන්දියාවේ කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කරමින් සිටිය දී බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයීම මෙන්ම අවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් කිඹුලා ඇළේ ගුණා ඇතුළු පාතාල නායකයන්ට චෝදනා එල්ලවී තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට කලකට උඩ දී මෙම පාතාල නායකයන් පිරිස ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් එරට එළිමහන් පුනරුත්ථාපන කඳවුරක විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තිබිණි.

එසේ රඳවා සිටිය දී මෙම පාතාල කණ්ඩායම පාකිස්තානයේ ත්‍රස්ත කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් ඉන්දියාවේ කිසියම් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් කරන බවට එරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඉන්දීය බුද්ධි ඒජන්සියේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම පාතාල අපරාධකරුවන් නවදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගත් පාතාල නායකයන් ඇතුළු පිරිස මෙසේය.

සී. ගුණසේකරන් නොහොත් කිඹුලා ඇළේ ගුණා, පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා, මොහොමඩ් අස්මි අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා නොහොත් කොට ගාමිණී, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, දනුක රෙෂාන් චන්ද්‍රසේන නොහොත් ලඩියා, අසිත නොයෙල් කුමාර, ගමගේ තරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කර කොළඹ නගර සභා පිටියේ දී එල්ලවූ එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට කිඹුලා ඇළේ ගුණාගේ ද සම්බන්ධයක් තිබූ බවට චෝදනා එල්ලවී තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන රැසක් පිටුපස මෙම පාතාල නායකයා සිටින බව පොලිසිය පවසයි. හෙරොයින් ප්‍රවාහනයට අමතරව අවි ආයුධ තොග පිටින් මෙරට පාතල කල්ලිවලට සැපයීම සම්බන්ධයෙන් ද ගුණා ඇතුළු මෙම පාතාල සාමාජිකයන්ට චෝදනා එල්ල වන බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

ඉකත් ජුලි 20 වැනිදා මෙම කඳවුරේ කළ වැටලීමක දී මෙම පාතාල ප්‍රබලයන් සතුව තිබී ජංගම දුරකථන සිම් කාඩ්පත් ඇතුළු තවත් භාණ්ඩ රැසක් ජාතික බුද්ධි ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශයකින් පසුව එළිමහන් කඳවුරේ සිටි මෙම පාතාල සාමාජිකයන් පිරිස් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ජාතික බුද්ධි ඒජන්සිය කටුතු කර ඇත.

හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment