ලංකාවේ වැඩිම වියදමක් යන ගුවන් පාලම් සෙට් එක… පාලමට පාලමක් යා කරන්නත් පාලමක්

791

* දිගින් මීටර 360යි… ගමන බේරේ වැවට ඉහළින්
 

රුවන් ජයවර්ධන

කාලය රන් හා සමානය. එහෙත් මෙරට ගමනාගමනය සම්බන්ධයෙන් ගත් කල මෙතෙක් කලක් එම කියමනට නිසි වටිනාකමක් හිමිව තිබුණේ නැත. ඊට මූලිකම හේතුව බවට පත්වූවේ ගමනාගමනයේදී බොහෝ දෙනකුට මුහුණදීමට සිදුවන දුෂ්කරතාවයන්ය. විශේෂයෙන් කොළඹට පැමිණීමේ දී හා ඉන් පිටව යෑමේ දී බොහෝ දෙනෙකුට කාලයෙන් වැඩි කොටසක් මහ පාරට ගෙවා දැමීමට සිදුවීමත් ඒ හේතුවෙන් කාලයක් මුදලත් යන දෙකම නිකරුනේ වියපැහැදම් වීමත් කලක පටන් සිදු වන්නක්ය. එය බොහෝ දෙනෙක් සමූහ වශයෙන් කලක පටන් මුහුණ දුන් පොදු ගැටලූවක්ය. ඒ සඳහා විසඳුම් සෙවීම පිණිස මෙතෙක් පැවති කිසිදු රජයක් යටතේ මහා මාර්ග අමාත්‍ය ධුරයට පත් කිසිවෙක් සමත් වූවෙ නැත. ඒ පිළිබඳ එතරම් තැකීමක් ද නොකළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස දිගින් දිගට ම දැකගත හැකි වූවේ දිනෙන් දින දිග ඇදෙන රථ වාහන පෝලිම් පමණය. රථවාහන මෙන්ම අදාළ ගැටලූව ද ඒ අනුව දිගින් දිගටම දිග ඇදුණා විනා ඒ සඳහා විසඳුමක් පෙනෙන තෙක් මානයක නොවීය.

මෙම ”ඉබි ගමනට” තිත තැබීම පිණිස සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව වත්මන් රජය විසින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් මේ වන විට ද ආරම්භ කොට ඇත. එය කොළඹට, කොහුවලට පමණක් සීමා නොකොට කන්ද උඩරට ගැටඹේ දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව තවත් වසරක් වැනි කෙටි කාලයක් තුළ මේ වන විට කොළඹ සහ ඉහත සඳහන් ස්ථානවල දකින්නට ලැබෙන රථවාහන ඉබි ගමනට තටු ලැබීමට නියමිතය. එම සුභාරංචිය සැබෑවක් බවට පත් කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතීන් ක‍්‍රියාවට නංවන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නවීන තාක්ෂණය යටතේ ඉදිවන ගුවන් පාලම් කිහිපයක් නුදුරේ දී මෙරට මාර්ග පද්ධතියට එක් වීමට නියමිතය.

ලංකාවේ වැඩිම වියදමක් යන ගුවන් පාලම් සෙට් එක... පාලමට පාලමක් යා කරන්නත් පාලමක්

ඒ අතරින් කොළඹ කොටුව සහ ඒ ආශ‍්‍රිතව පවතින වාහන තදබදය අවම කිරීම පිණිස ඉදිවන ගුවන් පාලම් කීපයක විශේෂත්වයක් ගනු ඇත. කොළඹ කොම්පඤ්ඤ වීදිය ආශ‍්‍රිතව පවතින අධික වාහන තදබදය පිළිබඳ අධ්‍යයනයක යෙදෙන මාර්ග සංවර්ධන අධිකාරිය ඒ හරහා තහවුරු කර ගත් කරුණුවලට අනුව එම ප‍්‍රදේශයේ පිහිටි විනිසුරු අක්බාර් මාවත සහ ශ‍්‍රී උත්තරානන්ද මාවත පිහිටි දුම්රිය හරස් මාර්ග දෙක එම ප‍්‍රදේශයේ පවතින අධික වාහන තදබදය පිණිස ප‍්‍රධානතම හේතුව බවට පත්ව ඇත. දුම්රිය ගමනාගමනය පිණිස දිනකට 84 වතාවක් එම දුම්රිය හරස් මාර්ග වසා දමන අතර ඒ හේතුවෙන් දිනකට පැය තුනක පමණ කාලයක් නිකරුණේ අපතේ යන බව තහවුරු කොට ගෙන ඇත. ඊට අමතරව තහවුරු කරගත් කරුණුවලට අනුව දිනක් තුළ උත්තරානන්ද මාවත සහ විනිසුරු අක්බාර් මාවත ඔස්සේ ගමන් කරන රථවාහන සංඛ්‍යාව 29000ත් 30000ත් අතර අගයකින් යුක්තය.

ඉහත සංඛ්‍යා ලේඛනවලට අනුව එම ප‍්‍රදේශය තුළ නිරන්තරයෙන් දකින්නට ලැබෙන රථවාහන තදබදය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. යෝජිත ගුවන් පාලම් ත‍්‍රිත්වය ඉදිවන්නේ ඊට විසඳුමක් පිණිසය. මෙම සුවිශේෂී කටයුත්තෙන් ප‍්‍රධාන කාර්යභාරය මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉටුකරන අතර විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ දැඩි කැපවීම සහ ඉල්ලීම මත මෙම ව්‍යාපෘතීන් වසරක් වැනි කෙටි කලක් තුළ නිම කිරීමට අදාළ කොන්ත‍්‍රාත් සමාගම් මේ වනවිට සිය එකඟතාවය පළ කොට අවසන්ය.

ඒ අනුව කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ එක් ගුවන් පාලමක් ද උත්තරානන්ද මාවතේ තවත් ගුවන් පාලමක් ද ඉදිවනු ඇත. එම ගුවන් පාලම් දෙක එකිනෙකට සම්බන්ධ වන තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට නියමිතව ඇත. පළමු අදියරය යටතේ ඉදිවන මෙම ගුවන් පාලම් දෙකෙන් එකක් වන විනිසුරු අක්බාර් මාවතේ ඉදිවන ගුවන් පාලම දිගින් මීටර 207ක් වන අතර එහි පළල මීටර 8.4 කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරනු ලබන ගුවන් පාලම දිගින් මීටර් 396 ක අගයක් ගන්නා අතර එහි පළල ලෙස දැක්වෙන්නේ මීටර 10.4 ක්ය. මෙම ගුවන් පාලම් දෙක එකිනෙකට සම්බන්ධ කිරීම පිණිස තවත් ගුවන් පාලමක් ඉදිකිරීමට නියමිතය. එය මීටර 310 ක දිගකින් යුක්තය. එහි පළල මීටර 9.6ක්ය. ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 5270 ක් ලෙස ගණන් බලා ඇත.

මීට අමතරව කොළඹ නගරයට තව තවත් අලංකාර එක්කරමින් සහ පවතින රථවාහන තදබදයට විසඳුමක් සපයමින් බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් තවත් ගුවන් පාලමක් ඉදි වීමට නියමිතය. එය ද වසරක කාලයක් ඇතුළත නිම කිරීමට නියමිතය. එය දිගින් මීටර 360 කින් යුක්තය. පළල මීටර 11කින් යුත් ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 2730 ක් ලෙස ගණන් බලා ඇත.

ජනතා සුබසෙත පිණිස රජයේ අවධානය යොමු වීම තුළ සිදුවන මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් මහපොළොව තුළ ඇත්තක් බවට පත්වීම සම්බන්ධව විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ වෛරසයක් හේතුවෙන් රටක සංවර්ධන කටයුතු අඩාල වීම කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවත් අදාළ සෞඛ්‍ය නීතිරීතීන්වලට යටත්ව එම මාර්ග සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කොට තිබෙන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ග‍්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මේ වසර අවසන් වන විට මාර්ග කිලෝමීටර් 25000ක් සංවර්ධනය කර ජනතාව වෙත ලබාදීම තම අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇති බවය.

* මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේ‍්‍රමසිරි මහතා

කොළඹ සහ ඒ අවට ගත්විට කාලයක සිට අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි ඒ ආශ‍්‍රිතව දිනපතා දැඩි වාහන තදබදයක් පැවතීම. මේ තත්වය අවම කිරීම පිණිස පසුගිය කාල වකවානුව තුළ අපි ලොකු උත්සාහයක් ගත්තා. විවිධ අත්හදා බැලීම් සිද්ධ කළා නමුත් ඒ තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් දකින්නට ලැබුණේ නෑ. ඒ සඳහා විසඳුමක් විදිහට තමයි කොළඹත් ඒ වගේම මහනුවර ගැටඹේ මංසන්ධියත් කේන්ද්‍රකොටගෙන ගුවන් පාලම් කීපයක් ඉදි කරන්න තීරණය කරන්නේ. මේ වන විටත් ඒ සඳහා මහාමාර්ග අමාත්‍යංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක‍්‍රියාත්මක වෙමින් සිටිනව. හොරණ කොළඹ මාර්ගයේ කොහුවල මංසන්ධිය කේන්ද්‍ර කොට ඉදිකරන ගුවන් පාලම හරහා ප‍්‍රදේශයේ පවතින අධික වාහන තදබදය අවම කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මේ වන විටත් කොළඹ ප‍්‍රධාන මාර්ගය මංතීරු හතරක් යටතේ සංවර්ධනය වෙමින් පවතිනව. අදියර කිහිපයක් යටතේ සිද්ධ වෙන එම කටයුත්ත දැනට පැපිලියාන දක්වාත් එතැන් සිට පාමංකඩ දක්වාත් පාමංකඩ සිට ඩබ්.ඒ. සිල්වා මාවත දක්වාත් සිද්ධ කිරීමට නියමිතයි. ඒ ආකාරයෙන් කොළඹ හොරණ මාර්ගය සංවර්ධනය වන වටපිටාවක් ඇතුලේ කොහුවල ඉදිවන ගුවන් පාලම හරහා ඉදිරියේ දී පහසුවෙන් කොළඹට ළඟා වීමට හැකියාව පවතිනව.

ඒ වගේම තමයි කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය අතරෙත් දීර්ඝ කාලයක් තිස්සේ මේ මාර්ග තදබදය දැකගන්න පුළුවන්. ඒ සඳහා විසඳුම් සෙවීම පිණිස තමයි විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත හරහා දිවෙන දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් ගුවන් පාලම් දෙකක් සහ එම ගුවන් පාලම් දෙක යා වන අයුරින් තවත් ගුවන් පාලමක් ඒ වගේම ඊට අමතරව බාලදක්ෂ මාවත සහ චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත යාකරමින් තවත් ගුවන් පාලමක් ඉදිකරන්න මේ වන විටත් කටයුතු කරමින් ඉන්නේ. මෙම ඉදි කිරීම් කටයුතු වසරක් ඇතුළත සම්පූර්ණ කරන්න අපි බලාපොරොත්තු වෙනව.

* මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති
චමින්ද අතළුව මහතා


කොළඹ නගරය ඒ වගේම කොහුවල, මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් ගැටඹේ මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින් ඉදි කරන මෙම ගුවන් පාලම් හරහා අපි අපේක්ෂා කරන මූලිකම දේ තමයි දැනට ඒ ප‍්‍රදේශවල දකින්නට ලැබෙන අධික වාහන තදබදය අවම කර ගැනීම. විශේෂයෙන්ම කොම්පඤ්ඤ වීදිය ආශ‍්‍රිතව පිහිටි විනිසුරු අක්බාර් මාවත ඒ වගේම උත්තරානන්ද මාවත කියන ස්ථාන දෙක ගත්තොත් ඒ ස්ථානවල පවතින දුම්රිය හරස් මාර්ග හේතුවෙන් අධික වාහන තදබදයක් දිනපතාම දකින්නට ලැබෙනව. සිදු කරන ලද ශක්‍යතා වාර්තාවලට අනුව දවසකට පැය තුනකට අධික කාලයක් මේ වාහන තදබදය හේතුවෙන් නිකරුනේ නාස්ති වෙලා යනව. ඒ වගේම තමයි ඒ හේතුවෙන් වසරකට රුපියල් මිලියන 150ක පමණ මුදලක් රටට අහිමි වෙනව. මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා තමයි කඩිනම් සංවර්ධන කටයුත්තක් විදිහට මේ ගුවන් පාලම් දෙක ඉදිකිරීමට තීරණය කරන්නේ. ඒ වගේම මෙ ව්‍යාපෘතියේ තවත් කොටසක් ලෙස බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත යා වන අයුරින් තවත් ගුවන් පාලමක් ඉදි කරන්නත් දැනටමත් කටයුතු කරමින් ඉන්නව. කොටස් දෙකක් යටතේ ඉදිවන මෙම ගුවන් පාලම් හරහා දැනට ඒ ආශ‍්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කරගන්න හැකියාව ලැබෙනව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය යටතේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නෙ. මෙතනදී සඳහන් කළ යුතු තවත් කරුණු කීපයක් තියෙනව. ඉන් එකක් තමයි නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත ඉදිවන අධිවේගී මාර්ගය. එය කොටස් දෙකක් යටතේ ක‍්‍රියාත්මක වන දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ වගේම මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු, ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් ඇමැති නිමල් ලංසා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 07 වැනිදා මෙම කටයුතු ආරම්භ කළ බවත් සඳහන් කළ යුතුයි..

advertistmentadvertistment
advertistmentadvertistment