ලංකාවේ විශිෂ්ට ගුරුවරුන් නිසා ලොව ඉහළම තැනකට යෑමට හැකිවුණා – චිකාගේ සරසවියේ මහාචාර්ය සිවා සිවනාදන් කියයි

106

නොමිලේ ඉගෙන ගත් ලංකාවට සේවය කරන්න ආවා

ලංකාවේ ගුරුවරුන් ඉතා විශිෂ්ට බවත් ඒ හරහා ලැබුණු පන්නරය නිසා තමන්ට ඉහළ තැනකට ගමන් කිරීමේ හැකියාව ලැබුණු බවත් චිකාගේ ඉලනොයි විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන් මහතා ප්‍රකාශ කරයි.

යාපනයේ උපත ලැබ යාපනයේ හින්දු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියෙන් උපාධි ලබා 1982 දී ඇමෙරිකාවට ගිය සිවනාදන් මහතා එරට ප්‍රකට විද්‍යාඥයෙක්ද වෙයි.

මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන සිවනාදන් මහතා කොළඹ ෂැංගිලා හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

මගේ අම්මා තාත්තා ගුරුවරු. මේ ගමන එන්න අම්මාගේ උපදෙස් හැම විටම බලපෑවා. එතුමිය කිව්වේ හැඟීම්වලට බරනොවී කටයුතු කරන්න කියලයි. මට ලැබුණු ගුරුවරු ඉතා හොඳයි. ඒ නිසා තමයි මට මේ ගමන යන්න ලැබුණේ. ඒ ලංකාවේ ගුරුවරු. මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්න ඕනේ. මන්ද මම ඉගෙන ගත්තේ නොමිලේ. මගේ දුව ඇමෙරිකාවේ දොස්තර කෙනෙක්. නමුත් ඇයට ඇමෙරිකාවේ ඉගෙන ගන්න මම ඩොලර් මිලියනයක් වැය කළා. නමුත් මම ලංකාවේ ඉගෙන ගත්තේ නොමිලයේ. ඒ නිසයි මේ රටට සේවය කරන්න ආවේ.

2012 ඉඳලා මම සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා එක්ක කටයුතු කරන්න, එතුමා සමඟ ආරම්භ කරපු වැඩපිළිවෙළ නිසා සූර්ය විදුලිබලය හා සුළං බලය ගැන පාඨමාලා හදාරපු ළමයි 200 ක් වසරකදී පිටවෙනවා. ඔවුන් සහතික ලබාගන්න පෙරම ඒ අයට රැකියා ලැබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඉල්ලීමක් මත සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

මෙම සංචාරයේදී අධ්‍යාපන අමත්‍යවරයා සහ මහාචාර්ය සිවා සිවනාදන් මහතා යාපනය ප්‍රදේශයේ පෙබරවාරි 05 සහ 06 යන දෙදින තුළ සංචාරය කිරීමට නියමිතය. එහිදී යාපනය හින්දු විද්‍යාලයට සහ යාපනය වෙම්බඩි විද්‍යාලය සඳහා සුහුරු පංති කාමර සහ සුහුරු පුවරු සිවා සිවනාදන් මහතාගේ අනුග්‍රහයෙන් ලබාදීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන් මහතාගේ මැදිහත්වීමෙන් චිකාගෝහි ඉලනෝයි සරසවිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන සහ පර්යේෂණ හුවමාරුව පිළිබඳව සහයෝගිතා ගිවිසුමකටද පසුගියදා අත්සන් තැබීය. මෙහිදී මෙම ගිවිසුමට අනුව පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය, සත්ත්ව ආහාර, සත්ව ඖෂධ හා පශු ශල්‍යකර්ම යන අංශවල විශේෂ වර්ධනයක් අපේක්ෂා කරන අතරම සරසවි දෙක අතර අදාළ තොරතුරු හා තාක්ෂණික දැනුම් හුවමාරුවක් සිදු කිරීමටද අපේක්ෂා කෙරේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment