ලංකාවේ සල්ලි හොයපු චෞරයන් ගැන පැන්ඩෝරා හෙළිදරව්වෙන් තහවුරු වෙලා

554

දේශපේ‍්‍රමී සළුපිළි පොරවාගත් චෞර වළල්ලක් ජනතාවගේ සාරය සූරා ගනිමින් ඇති බවට මෑත ඉතිහාසයේ හොඳම සාක්ෂිය පැන්ඩෝරා පත‍්‍රිකා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජවිපෙ කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මෙම තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පෙරේදා (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග‍්‍රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙනවා. පැන්ඩෝරා වාර්තා හරහා සිදුවී තිබෙන්නෙත් ඒක. ලංකාවේ කෙනෙකුගේ රුපියල් දශ ලක්ෂ 35,000ක් විවිධ බැංකු සහ දේපළ තුළ සඟවා තිබෙන බව හෙළිදරව් කර තිබෙනවා. පකිස්තානයේ ඉම්රාන් ඛාන් අග‍්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශකයෙකුගේ පුතෙක් ඇතුළු කිහිප දෙනෙක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර වහාම නීතිය ක‍්‍රියාත්මක කරන බව ඔහු ප‍්‍රකාශ කරන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉක්මනින් ප‍්‍රකාශයක් කළ යුතුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයා. නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නැහැ.

බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන නඩුවක් පවතින මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඬේෂන්ගේ නමට. 2015 ජනවාරි 08 රාත‍්‍රියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික‍්‍රමසිංහ ගියේ තිරු නඬේෂන් එක්ක. තිරු නඬේෂන් හෝ නිරුපමා රාජපක්ෂ මේ බලයේ ඉන්න චෞර වළල්ලෙන් පිට අය නෙවෙයි. ඒ වළල්ලේ ඇතුළේ ඉන්න අයගේම ධනය මේ හෙළිවී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා.

එපමණක් නෙවෙයි ඉමාම් සුබේරි කියන සීඅයිඒ නියෝජිතයා අවුරුදු 12කට සිර දඬුවම් විඳිනවා. මේ සීඅයිඒ නියෝජිතයාට එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඞ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවා තිබෙනවා. ඒ ලංකාවේ ප‍්‍රතිරූපය වර්ධනය කරන්න කියලා. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අවසරයක්වත් නැති බව වාර්තා වෙනවා. එක්සත් ජනපදයේ සීඅයිඒ නියෝජිතයන්ගේ වත්කම් පරීක්ෂා කරනකොට ලංකාවේ කබ්රාල්ලා ගැන හෙළිවෙනවා. ප‍්‍රංශයේ එයාර් බස් සමාගම සම්බන්ධයෙන් එරට සහ එංගලන්තය, ඇමරිකන් එක්සත් ජනපදය පරීක්ෂණයක් පැවැත්වූවා. මේ සමාගම ලෝකයේ රටවල්වලට එයාර් බස් ලබාදීමේදී විවිධ කප්පම් ලබාදීම හරහා පෙළඹවීම් කර ඇති බව පරීක්ෂණයකින් ඔප්පු වුණා. එහිදී එවකට එයාර් ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට බෲනායිවල පිහිටි සමාගමක් හරහා ඩොලර් මිලියන 2ක් ලබාදී ඇති බව හෙළිවුණා. මේ මුදල ඔස්ටේලියාවේ ගිණුමක් හරහා ලංකාවේ නිමල් පෙරේරාගේ ගිණුමකට පැමිණි බව හෙළිවුණා. මේ විදිහට ලෝකයේ මූල්‍ය අපරාධ පිළිබඳ කරන පරීක්ෂණවලදී ලංකාව පිළිබඳවත් හෙළිදරව් වෙනවා. පැනමා පත‍්‍රිකාවලින් පවා මේ ගැන වාර්තා වුණා. එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් චීන සමාගමක් විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් බව හෙළිකර තිබෙනවා. මේ පුවත්පතට විරුද්ධව නඩු දාන බව මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. නමුත් නඩු දැම්මේ නැහැ. මේක දූෂිත රාජ්‍යයක් නොවෙයිද? මේ අපේ රටේ ජනතාවගේ ක්ෂාරය සූරාගත් චෞර වළල්ලක්. දේශපේ‍්‍රමී සළුපිළි පොරවාගෙන සිටින මේ රාජපක්ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නැවක් අත්පත් කරගෙන සිටිනවා වගේ අපේ රට අත්පත් කරගෙන සිටිනවා. අපි කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මේ තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment