ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්…

612

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින් පවසන්නේ, සංචාරක තහනම හරහා ”ඔමික්‍රෝන් ප‍්‍රභේදය” ගෝලීය පැතිරීම වැළැක්විය නොහැකි බවයි. අද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා නව සෞඛ්‍ය නිර්දේශ අත්‍යවශ්‍ය වන්නාක් මෙන්ම, රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. එසේම රටෙහි නායකයන් පවසන්නේ අපව යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් විදේශ විනිමය රටට ලබා ගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ සංචාරක කර්මාන්තය බවයි. එය එදා සාමාන්‍යයෙන් වසරකට රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි. විසිපන් ලක්ෂයකට වැඩි පිරිසකට ඍජුව හෝ වක‍්‍රව ජීවන මාර්ගයක් වූවකි. එහෙත් මෙම වසරේ නොවැම්බර් අවසානයේදී රටට පැමිණ ඇති සංචාරකයන් ප‍්‍රමාණය 99,464 ක් වැනි ඉතා සුළු පිරිසකි. ඊට ප‍්‍රධාන හේතුව බලධාරීන්ගේ සංචාරක නියාමන රෙගුලාසි මෙන්ම අසාර්ථක කළමනාකරණය බව දැනටමත් සනාථ කර අවසන්. එසේ නමුත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි පවා නොසිතමින්, එම ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත‍්‍රය බවට පත් කරන්නට වත්මන් ජනපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.

නැගෙනහිර යුරෝපා රටක් ලෙස පෝලන්ත රාජ්‍යයේ අගනුවර වෝර්සෝ සිට ශ‍්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ කරා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් පැමිණීම මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට සුව පහසුවෙන් යෑමට
ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර තිබෙනවා. ශීත සෘතුවත් සමග ඇරඹුණු මෙම සංචාරක සමයේ දී LOT ගුවන් සේවය, 2022 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත. ඒ සඳහා ලොට් පෝලිෂ් තම ගුවන් සේවය බෝයින් 787 ඞී‍්‍රම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.

පසුගිය 07 වෙනිදා කටුනායක දී ගුවන්තොටුපළ කාර්යමණ්ඩලය විසින් උණුසුම්ව පිළිගත් මොහොතේ ලැබූ ආගන්තුක සත්කාරය පිළිබඳ අත්දැකීම් සංචාරකයන්ට කිසිදිනක අමතක නොවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහාය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම කොරෝනා වසංගතය නොසලකා ලබාදෙන සහයෝගයට විශේෂයෙන් LOT පෝලන්ත කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙමු. එසේම මෙම ගුවන්යානාවේ වැඩි ආසන ප‍්‍රමාණයක් දැනටමත් වෙන්කර ඇති පෝලන්ත රාජ්‍යයේ ”Itaka” සහ ”Rainbow” යන සංචාරක සමාගම් දෙක ලබන ජනවාරි සිට මාර්තු අතර කාලයේදී මෙරටට සංචාරකයන් රැගෙන මූලිකත්වයෙන් කටයුතු කරන බව විශේෂයෙන් සඳහන් කර යුතුය. ඒ මක්නිසාද එම ආයතන දෙක දැනටමත් පෝලන්තයේ සංචාරකයන් යවන විශාලතම සංචාරක සමාගම් නිසයි.

ඒ අතර මෙරට සංචාරක බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් හෝ නොමැතිව බල්ගේරියානු GullivAir ගුවන් සමාගමේ Airbus A330-200 ගුවන්යානාව නොවැම්බර් 29දා බල්ගේරියාවේ අගනුවර සොෆියා නගරයේ සිට බල්ගේරියානු සහ රුමේනියානු සංචාරකයන් 98 ක් රැගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළට ගොඩ බැස්සේය. ශ‍්‍රී ලංකාවට පැමිණි පළමු GullivAir ගුවන් යානාව මත්තල ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලය උත්සවාකාරයෙන් පිළිගත්තේ, ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක ඇමැතිතුමා ලබාදුන් මග පෙන්වීම යටතේය. එසේ එම ගුවන් යානාව මාලදිවයින හරහා පැමිණි නමුත් ඉදිරියේදී සතිපතා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ බල්ගේරියානු හා රුමේනියානු සංචාරක ඒජන්තවරුන් 46 දෙනෙක් පැමිණීමය. ඔවුන් යාල, නුවරඑළිය, මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව යන සංචාරක ස්ථාන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඊට අමතරව සංචාරකයන් සඳහා විවේක ගැනීමට සුදුසු මුහුදුබඩ හෝටල් අධීක්ෂණ කිරීමට අමතක නොකළේය. එහිදී බල්ගේරියානු ”Onex Tour” සහ රුමේනියානු ”Karpaten” යන සංචාරක සමාගම් මෙම නියෝජිතයන් රැගෙන ඒමට සියලූ කටයුතු සූදානම් කරන ලදී. ඔවුන් තුර්කිය, ඊජිප්තුව, ටියුනීසියාව, මාලදිවයින සහ මොරොක්කෝව යන රටවල් සඳහා එරට සංචාරකයන් යවන ප‍්‍රධාන සංචාරක ආයතනයි.

මේ කිසිදු යහපත් ක‍්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශ්වයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ නැවතත් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට බලධාරීන් කුරුමානම් අල්ලන බවට කටකතා පැතිරෙයි. ඒවා සනාථ කරමින් පසුගිය 30 වැනිදා කොරෝනා එන්නත් ලබා නොගත් ගුවන් සමාගමේ සේවකයකු මෙරට බලධාරීන්ගේ නියෝග මත එහිදී අනකරන ලද හෝටලයකට රැගෙන ගියේ, බල්ගේරියානුවන්ගේ අකැමැත්ත මෙන්ම එහි සංචාරකයන්ගේ විරෝධය ද කිසිදු අයුරින් සැලකීමට නොගෙන බව කනගාටුවෙන් කිව යුතුය. එසේ ඉදිරියට ද සංචාරකයන් සඳහා පීඩාකාරී නියාමනය පැනවීමට නැවතත් සිදුවීම මත රට තුළ සංචාරක ව්‍යාපාරයේ හා ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන් ලක්ෂ 25 කට ආසන්න පිරිසකට යම් තරමකින් හෝ සහනයක් සැලසීමට තිබෙන අවස්ථාව නැවතත් මගහැරී යෑමට ඉඩ ඇති නමුත් PCR වෙළඳාම, නිරෝධායන වෙළඳාම තම හිතවතුන්ට ලබාදීම ද වැළැක්විය නොහැක.

ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්…

එදා ගුවන්තොටුපළ වසා තබාගෙන සිටිය කාලයේදී ”සංචාරක බුබුල” යටතේ පසුගිය වසරේ දෙසැම්බර් සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි Ukraine Airlines” Sky Up Airlines” SCAT Airlines සහ Air Astana සමාගම් යුක්රේනියාවේ හා කසකස්තානයේ සිට සංචාරකයන් රැගෙන ආවේ මත්තල ගුවන්තොටුපළ ටය. එදා ශ‍්‍රී ලංකාවේ බලධාරීන් පනවනු ලැබූ පීඩාකාරී සංචාරක නියාමනය හේතුවෙන් රටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔවුන් හෝටල්වල සිරකරුවන් සේ රඳවාගෙන සිටිය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ කරමිනි. අවසානයේදී එම ගුවන් සමාගම් හතරම තම ගුවන් ගමන් අවලංගු කළ අතර ඊට මූලික හේතුව ”හෝටල් තුළ සිරකර තැබීම” වැනි නොයෙකුත් පීඩාකාරී සංචාරක නිර්දේශ බව හොඳින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ එම ආයතන බව කිවයුතුය.

එවැනි අමිහිරි මතක සටහන් තිබුණ ද මෙවරත් දෙසැම්බර් 28 සිට මත්තලට සතියකට දෙපාරක් පැමිණීමට Sky Up Airlines සියලූ කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අතර Air Astana දෙසැම්බර් 01 දා සිට TUI Kazakhstan සමග එකතුව සතියකට ගමන් වාර පහ බැගින් කටුනායක ගුවන්තොටුපළට සතියකට සංචාරකයන් 750 ක් රැගෙන ඒමට පටන්ගෙන ඇත. ඒ අතර මොස්කව් සිට ශ‍්‍රීලන්කන් ගුවන් යානාව සතියකට ගමන් වාර දෙකක් සහ එරෝෆ්ලොට් සතියකට ගමන් වාර දෙක ඇතුළුව මාසයකට රුසියානු, කසකස්තානු, යුක්රේනියානු සංචාරකයන් 8,000 ක් පමණ පැමිණෙනවා ඇත. දැනටමත් ‘‘රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට යටතේ පමණක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් 12,000 කට ආසන්න පිරිසක් මේ වසරේ පැමිණ ඇත.

එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකළ බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය පසකින් තබා, මොස්කව් – කොළඹ ඍජු ගුවන් ගමන් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම හා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ආරම්භ කිරීම මෙන්ම යුක්රේනියානු SkyUp ගුවන් සමාගම කිව් – කොළඹ ගුවන් ගමන් සහ Air Astana අල්මති – කොළඹ ගුවන් ගමන් ආරම්භ කිරීම ද සංචාරක මණ්ඩලයේ බලධාරීන්ට කුතුහලයට තුඩුදුන් කරුණක් බව කවුරුත් දන්නා රහසකි. කවුරුන් කෙසේ විරුද්ධ වුවත් මේ මොහොතේ රටට සංචාරකයන් පැමිණීම නතර නොකළ යුතුය. මොකද පසුගිය දින කසකස්තාන් රජය එරට පුරවැසියන්ට ඊජිප්තු සංචාරය තාවකාලිකව තහනම් කිරීම නිසා, කසකස්තාන ඊජිප්තුව අතර සියලූ ගුවන් ගමන් නතර කරන ලදී. එසේම ඉදිරි සතියේදී රුසියාව මෙන්ම යුකේ‍්‍රනය ද එවැනිම පියවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි වාතාවරණයකදී එම සංචාරකයන් ද පැමිණෙන්නේ ශ‍්‍රී ලංකාවට බව ජනාධිපතිවරයා පත්කරන ලද අදක්ෂ සංචාරක බලධාරීන් ද හොඳින් අවබෝධ කර ගත යුතුය.

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය සතුව පවතින අතර එයින් ලැබෙන බදු මුදල් හිතුමතේට වියදම් කිරීම මෙරට සෑම රජයක්ම සිදුකළ බව පිළිගත යුතුය. අදටත් රුසියානු රාජ්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණෙන රාජ්‍ය සේවකයන් සඳහා දිනකට රුපියල් ලක්ෂයකට (500/) වැඩි මුදලක් ගෙවීමට චක‍්‍රලේඛන අනුව ශ‍්‍රී ලංකා රජය බැඳී සිටියි. ඒ නිසාම පසුගිය දින ජනාධිපතිතුමා අවම පිරිසක් කැටුව නිව්යෝක් නුවර පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි විය. එය අගය කළයුතු හොඳ ආදර්ශයක් වන්නේ, ජනාධිපතිතුමා පමණක් නොව රජයේ අනිකුත් මැතිඇමැතිවරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් ද ජනාධිපතිවරයා ආදර්ශයට ගත්කල පමණි. මොකද, අද කුඩා සංචාරක වැඩසටහන් වලට පවා, රාජ්‍යතාන්ත‍්‍රික සංචාර ලෙස රටෙහි ජනතාවට හඟවමින්, තම ගෝලයන් රොත්ත පිටින් රැගෙන සති ගණන් රට සවාරි ගසන්නේ සංචාරක කර්මාන්තයේ නියුතු ශ‍්‍රමිකයන්ගේ බදු මුදලින් බව අප පිළිගත යුතුයි. එම බලධාරීන් කොරෝනා වසංගත නිසාවෙන් රටෙහි ආර්ථිකය කඩාවැටී ඇති මොහොතේ හෝ ජනාධිපතිවරයා ආදර්ශයට ගන්නා දිනය උදා වනු ඇතැයි, රටෙහි ජනතාව තවදුරටත් බලා සිටින්නේ ඊළඟ ජන්දයට දින ගණන් කරමින් බව එම මැති ඇමැතිවරුන් අවබෝධ කරගත යුතුය.

කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදය නොව ලෝක යුද්දයක් ආවත් ලක්බිමේ සංචාරක බලධාරීන් තමන්ගේ සාක්කුව පුරවා ගැනීමට පසුබට නොවන බව නැවතත් පෙන්නුම් කරයි. ඒ බව සනාථ කරමින් ලබන වසරේදී පුද්ගලික අංශය සමාගම් තම සේවාවන් ලොවට හඳුන්වා දීමට අනිවාර්යෙන්ම සහභාගි විය යුතු සංචාරක ප‍්‍රදර්ශන 16 ක් සඳහා අනවශ්‍ය දේශපාලකයන් හා ගෝලයන් සමග බලධාරීන්ට රට රවුම් ගැසීමට ගමන් වියදම් සමග රුපියල් 631,000,000 මුදලක් වියදම් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය දින සභාපතිනිය විසින්ම අදාළ ලේඛන ප‍්‍රසිද්ධයට පත්කිරීම අපගේ විමතියට කරුණක් විය. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම 2021 වසරේදී එතෙර පැවැත්වුණු සංචාරක ප‍්‍රදර්ශන 5 කට සහභාගි වීමට බලධාරීන්ගේ ගමන් වියදම් සමග රුපියල් 120,542,316 වියදම් කර ඇති අතර ඊට 75 කට ආසන්න පිරිසක් රජයේ වියදමින් සහභාගී වී ඇති බවයි. එසේ නමුත් මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමට බලාපොරොත්තු වන රටෙහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හා අදාළ රටෙහි සංචාරක ප‍්‍රවර්ධන කටයුතු භාරව සිටින සංචාරක මණ්ඩලයේ එක් නිලධාරියෙක් සහභාගි කරවීමට පමණක් මහජන බදු මුදල් වියදම් කිරීම හොඳටම ප‍්‍රමාණවත් බව අප හොඳින් දන්නා කරුණකි. ඊට හොඳ නිදසුනක් ලෙස අප මතක්කර දිය යුත්තේ, 2015 පෙර ආර්ථික කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම එදා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා බව කිව යුතුය. ඔවුන්ගේ ධුර කාලයේදී අත්‍යවශ්‍ය රාජතාන්ත‍්‍රික ඉහළ හමුවකට හැර මෙවන් අනවශ්‍ය කිසිදු ගමන් සිදු නොකිරීම අද රජයේ සියලූ නිලධාරීන් ආදර්ශයට ගතයුතුය.

කාලයෙන් කාලයට කොරෝනා වසංගතයේ අලූත් ප‍්‍රභේද ලෝකයේ බොහෝ රටවලින් හඳුනාගෙන ඇති නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසකස්තානු සංචාරකයන්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වූවෝ බව අපට සනාථ වී ඇත. එසේම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව රජය ගත් නිවැරදි තීන්දු තීරණ, අධ්‍යනය කර 2022 සීතල කාලයේදී හෝ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප රජය බලාපොරොත්තු වන්නේ නම්, අවම වශයෙන් දැනට ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ වෙනස් නොකර බුද්ධිමත්ව සංචාරක හිතකාමී නිර්දේශ පමණක් ලබාදීමට රජයට කාලය උදාවී ඇත.

ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්…

උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති.

advertistmentadvertistment
advertistmentadvertistment