ලංකා බැංකුවෙන් දළදා මාලිගාවට KIOSK යන්ත්‍රයක්

86

ලෝකවාසී බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින, ඓතිහාසික කන්ද උඩරට ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කිරීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් පිරිනමන දේශීය හා විදේශීය මූල්‍යමය ආධාර තැන්පත් කිරීම සඳහා KIYOSK යන්ත්‍රයක් දළදා මාලිගා පරිශ්‍රය තුළ ස්ථාපනය කිරීමට ‘ජාතියේ මහා පහන් ටැඹ‘ ලංකා බැංකුව විසින් පසුගියදා කටයුතු කරන ලදී.

මෙරට සිද්ධස්ථානයක් ආශ්‍රිතව දේශීය හා විදේශීය මුදල් නෝට්ටු ආධාර තැන්පත් කළ හැකි ආකාරයේ මෙවැනි යන්ත්‍රයක් ස්ථාපනය කළ පළමුවන අවස්ථාව මෙය වන අතර, මෙම ව්‍යාපෘතිය ලංකා බැංකුවේ නිමැවුම් හා බැංකු සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරන ලද්දකි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයට අමතරව ශ්‍රී දළදා මාලිගාවට නිරතුරුව පැමිණෙන විදේශීය බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් තායි, චීන, රුසියානු, හින්දි හා ජපන් යන විදේශීය භාෂා 8 කින් මෙම KIYOSK යන්ත්‍රය පරිශීලනය කිරීමේ හැකියාව ලබාදී තිබේ.

තව ද ශ්‍රී ලංකා රුපියල්වලට අමතරව විදේශීය බැතිමතුන් විසින් විශාල වශයෙන් භාවිත කරන ඇමරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, චීන රෙන්මින්බි, සහ තායි බාත් යන විදේශීය මුදල් නෝට්ටු මෙම ස්වයංක්‍රීය යන්ත්‍රය හරහා තැන්පත් කිරීමේ පහසුකම් ලබා දී තිබේ.

මෙම සත්කාරය සඳහා ඓතිහාසික කන්ද උඩරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ, මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල, මහ ලේකම් රෝහණ කීර්ති දිසානායක, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් සහ සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා හා සහකාර මහා කළමනාකරු (මධ්‍යම පළාත) සරත් විජේසිංහ යන මහත්වරුන් ප්‍රධාන ලංකා බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment