ලංකා බැංකුවේ අභිනව මහා කළමනාකරු ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා පත්කෙරේ

217

දිවයිනේ ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුවේ (BOC) මීළඟ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි ලෙස රසල් ෆොන්සේකා මහතා 2023 ජනවාරි 14 වැනිදා වැඩ භාරගැනීමට නියමිතය. 1990 වසරේ දී ලංකා බැංකුවට සම්බන්ධ වන ඒ මහතා වසර 33ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වනවිට ලංකා බැංකුවේ අතිරේක මහා කළමනාකාර සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස කටයුතු කරයි. වත්මන් මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි කේ. ඊ. ඩී. සුමනසිරි මහතා නුදුරේ දී විශ්‍රාම ගැනීමට නියමිත බැවින් මෙම පත්කිරීම සිදුකොට ඇත.

මෙරට බැංකු ක්‍ෂේත්‍රය තුළ දශක ගණනාවක අත්දැකීම් සහිත රසල් ෆොන්සේකා මහතා ලංකා බැංකුව තුළ විවිධ අංශ සාර්ථකව මෙහෙයවමින්, නායකත්වය ලබාදුන් වෘත්තීය බැංකුකරුවෙකි. ෆොන්සේකා මහතා පසුගිය කාල වකවානුව තුළ ලංකා බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මෙන්ම මූල්‍ය හා සැලසුම්, ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන, ශාඛා බැංකු කටයුතු සහ ආයතනික හා අක්වෙරළ යන අංශවල නියෝජ්‍ය මහා කළමනාකාර තනතුර හොබවා ඇත. මෑත කාලයේ ගෝලීය වශයෙන් පැවැති අවිනිශ්චිත කාලපරිච්ඡේදය තුළ මෙරට ප්‍රමුඛතම බැංකුව මෙහෙයවීමේ භාරදූර කර්තව්‍යයට සාර්ථකව මුහුණ දුන් ෆොන්සේකා මහතා එම අත්දැකීම් ද සමගින් ලංකා බැංකුව බැංකුකරණයේ නව මානයන් වෙත රැගෙන යනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය සහ ඔස්ටේ්‍රලියාවේ සවුත් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇති ෆොන්සේකා මහතා ලංකා බැංකුවේ අනුප්‍රාප්තික සැලසුම් යටතේ තෝරාගත් වෘත්තිකයන් බලගැන්වීමේ වැඩසටහන හරහා ඇමරිකා එකසත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික ඇකඩමියේ උසස් කළමනාකරණ පාඨමාලාව සම්පූර්ණ කර ඇත. ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ද සාමාජිකත්වය ලබා ඇත. එමෙන් ම ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඒ මහතා AAT Sri Lanka ආයතනයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ද වේ. ඊට අමතරව ෆොන්සේකා මහතා ලංකා බැංකුවේ ආශ්‍රිත හා අනුබද්ධිත සමාගම් ගණනාවක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment