ලංකා බැංකුවේ චෙන්නායි ශාඛාව සිය 27 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි

99

මෙරට ප්‍රමුඛතම බෑංකුව, ලංකා බැංකුව (BOC) සිය 83 වැනි සංවත්සරය හා BOC චෙන්නායි ශාඛාවේ වසර 27ක කීර්තිමත් ගමන්මඟ සමරමින්, ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ලංකා බැංකු ශාඛා පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්‘ සංවිධානය කෙරිණි.

BOC චෙන්නායි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරිනී කුමුදිනී ජේ. යෝගරත්නම් මහත්මියගේ ආරාධනය පරිදි චෙන්නායි මහාබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගගොල්ලේ චන්දරතන හිමිපාණන් සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මහතා එම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. ඊට අමතරව එම වැඩසටහනට ලංකා බැංකුවේ චෙන්නායිහි සාර්ථක ගමන් මඟට ශක්තියක් වූ ඉන්දීය – ආසියානු – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීහු, දකුණු ඉන්දියානු – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නිලධාරීහු, චෙන්නායි සිංහ සමාජයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ, ඉන්දියාවේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ආයතනවල නිලධාරීහු සහ අනුග්‍රාහකයෝ රැසක් සහභාගි වූහ.

වසර 27 ක් පුරා චෙන්නායි හි ජනතාවගේ සියලුම මූල්‍ය අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා දීම හරහා BOC චෙන්නායි ශාඛාව වඩාත් පිළිගැනීමට ලක්ව ඇති අතර, ඉන්දු-ශ්‍රී ලංකා වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සලසන BOC චෙන්නායි ශාඛාව දෙරටටම ආර්ථික වටිනාකම් එක්කිරීම වෙනුවෙන් කැප වෙයි. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ගණනාවක ප්‍රධාන Asian Clearing Union (ACU‍) හවුල්කරු ලෙස කටයුතු කරන BOC චෙන්නායි ශාඛාව දශක ගණනාවක් තිස්සේ ඉන්දු-ශ්‍රී ලංකා වෙළෙඳ කටයුතු සඳහා ප්‍රධාන පහසුකම් සපයන්නා ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment