ලංකා බැංකුව තෙල් සංස්ථාවට ට්‍රිලියනයක ණයක් දීලා

155

ලංකා බැංකුවේ ට්‍රිලියන හතරක මුළු වත්කම්වලින් ට්‍රිලියනයක ණයක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලබාදී ඇතැයි ද, කවුරු ආණ්ඩු බලය ලැබුවත් ඒ ආණ්ඩුවට රට කරවන්න හිස් නොවූ භාණ්ඩාගාරයක් අවශ්‍ය යැයි ද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය 15 වැනිදා පැවැති බැංකු ඇතුළු රාජ්‍ය අංශයේ වර්ජනය සඳහා ප්‍රගති බැංකු සේවක සංගමය සහභාගි නොවීම පිළිබඳව අදහස් දැක්වීමට කොළඹ 02, රජයේ ලිපිකරු සේවා සංගමයේ මූලස්ථානයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු එලෙස සඳහන් කළේය. රාජ්‍ය බැංකු ක්‍ෂේත්‍රය කඩාවැටුණොත් ගොඩ ඒමට මාර්ගයක් නොමැති බවත් මෙරට රාජ්‍ය බැංකු මගින් රාජ්‍ය ආයතන සඳහා

40%ක වැඩි ප්‍රමාණයක් ණය ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

සිය සංගමය පසුගිය 15 වැනිදා වැඩ වැරුමට සහභාගි නොවී ඉටුකළේ ආණ්ඩුව රැකීම නොව රට හා රාජ්‍ය ආරක්‍ෂා කරමින් බැංකු පද්ධතිය රැකගැනීම බව ද ඔහු සඳහන් කළේය. රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නා තුරු බංකු වර්ජනවලට ඉඩ තබන්නේ නැතැයි ද, රාජ්‍ය බැංකු මගින් රටේ ආර්ථිකයෙන් 60%ක් හසුරවන්නේ යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

ප්‍රගති බැංකු සේවක සංගමයේ ලේකම් ඒ. කේ. බණ්ඩාර මහතා ද අදහස් දැක්වීය. එම සංගමයේ නිලධාරීහු හා විධායක සභිකයෝ ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment