ලංකා බැංකුව සිය 83 වැනි සංවත්සරය ශක්තිමත්ව හා ස්ථාවරව සමරයි

97

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි යන මහත්වරු අදහස් දැක්වූ අයුරු සහ My Health Savings නමින් සෞඛ්‍ය ඉතුරුම් ගිණුමක් හඳුන්වා දීම සිදු කළ අයුරු ඡායාරූපය – සමන් රණවීර

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව විසින් සිය 83 වැනි සංවත්සරය ඉකුත් 01වැනිදා සමරනු ලැබීය. ඒ වෙනුවෙන් වූ උත්සවය කොළඹ 01 පිහිටි ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවය සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ කෙරිණි. ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ, කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහ ගනුදෙනුකරුවෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

සංවත්සර සැමරුම සංකේතවත් කරමින් ‘My Health Savings‘ නමින් සෞඛ්‍ය ඉතුරුම් ගිණුමක් හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් Foriegn Circle ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමාතය. ඊට අමතරව ලංකා බැංකුවේ ප්‍රථම ශාඛාව වන කොළඹ කොටුව, බ්‍රිස්ටල් වීදියේ, අංක 41 දරණ ලිපිනයේ පිහිටි BOC නගර කාර්‍යාලයට (City Office) ගෙවැදීමද එදින සිදු කෙරිණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා සංවත්සර සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින් පැවසුවේ, “ලංකා බැංකුවට සවිමත් සන්නාමයක් ලෙස සිය 83 වැනි සංවත්සරය සැමරීමට හැකි වීම ප්‍රශංසනීය ජයග්‍රහණයක් විදියට මම දකිනවා. මේ රටේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදියට වගේ ම රටේ දියුණුව වෙනුවෙන් කැප වූ ආයතනික පුරවැසියකු විදියට, ලංකා බැංකුව ඉතා නිහතමානී ආඩම්බරයකින් යුතුව මෙම සංවත්සර සැමරුම සිදු කරනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතිය සමඟ බද්ධ වෙමින් විකාශනය වූ ලංකා බැංකුව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත හා ජීවනෝපායන් නඟාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන නිසා ම නවතම ඩිජිටල් නිපැයුම් හා සේවාවන් හඳුන්වා දීමට සහ සංවර්ධනය කිරීමට නිරන්තරයෙන් කැප වෙනවා. ලංකා බැංකුවේ අභිමානවත් සංවත්සරය සමරන මේ මොහොතේ දැඩි විශ්වාසයෙන් යුතුව අප සමඟ රැඳී සිටින වටිනා ගනුදෙනුකාර භවතුන්ට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙනි.

මෙම අවස්ථාවේ දී ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “ රටේ අංක 1 බැංකුව විදියට ලංකා බැංකුවේ ගමන් මඟ අභියෝගාත්මක වුවත් ඉතා සුබදායක එකක් බව පැවසිය යුතු ම යි. ආරම්භයේ සිට ම අප සමඟ අත්වැල් බැඳගෙන සිටි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ සියලු ම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත විශේෂ ස්තුතිය පුද කළ යුතුයි. අභියෝගාත්මක කාල වකවානුවල දී පවා ඉතා ශක්තිමත්ව ඉදිරියට යාමට ඔවුන් සියලු ම දෙනා අපට සහයෝගය ලබා දුන්නා. ඔවුන් ඉතා කැප වීමෙන් ගොඩනැගූ සියලු ම වටිනාකම් ලංකා බැංකුව නිරන්තරයෙන් ආරක්ෂා කරන බව අවධාරණය කරන අතර, ලංකා බැංකුව රුපියල් ට්‍රිලියන 4 ඉක්මවන වත්කම් පදනමක් සහිත ශක්තිමත් ආයතනයක් බවත් සිහිපත් කිරීමට කැමතියි.”

advertistmentadvertistment
advertistmentadvertistment