ලංකා සීනි සමාගමේ 2022 ඉලක්කය රුපියල් බිලියන පහක ලාභයක්…සී/ස ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර

230

ඉතිහාසයේ පළමු වතාවට අපි ආණ්ඩුවට රුපියල් බිලියන 1.5ක් දෙන්න සූදානම්

2020 දි රුපියල් මිලියන 1100ක් සහ 2021දි රුපියල් මිලියන 1600ක ශුද්ධ ලාභයක්

පවතින විනිමය අර්බුදයට එක විසඳුමක් ලෙස මහ බැංකු අධිපතිවරයා ඇතුළු බොහෝ ආර්ථික විශේෂඥයන් පවසන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. එහි ව්‍යංගය පෞද්ගලීකරණය බවද ඇතැමුන් පවසයි.

කෙසේ වුවද ලංකා සීනි සමාගම ද පූර්ණ රාජ්‍ය ව්‍යවසායකි. නමුත් එය මේ වනවිට ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත. 2019 වසරේදීත් අලාභ ලැබූ මෙම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්වූයේ වත්මන් සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා යටතේය. රාජ්‍ය ආයතනවලින් ලාභ ලැබිය නොහැකි යැයි කියන මැසිවිලි බොරුවක් බව ක්‍රියාවෙන් ඔප්පු කළ සී / ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ සභාපති එහි වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා දිවයින ඉරිදා සංග්‍රහය සමඟ එක් විය.

පහතින් පෙළ ගැසෙන්නේ ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය සිදු කළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහ කරනවා. රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීමට පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ආර්ථික විශේෂඥයන් පවා කියන කාරණයක්. ඔබ සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම යන රාජ්‍ය ව්‍යවසායකයේ සභාපති ධුරය හොබවනවා. ලංකා සීනි සමාගම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා වශයෙන් ඔබගේ අදහස කෙබඳු ද?

පිළිතුර – මුලින්ම මම ලංකා සීනි සමාගම කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කළ යුතුයි. ලංකා සීනි සමාගම සියයට සීයක් මහා භාණ්ඩාගාරය සතු සමාගමක්. රජය සතු සමාගමක්. 1986දී තමයි මෙහි කටයුතු ආරම්භ කර තිබෙන්නේ. ඌණ උපයෝගී වත්කම් පනත යටතේ පෞද්ගලික අංශය යටතේ තිබුණු සෙවනගල සීනි කර්මාන්තායතනයත්, පැල්වත්ත සීනි කර්මාන්තායතනයත් එකතු කර 2011දි තමයි ලංකා සීනි සමාගම බිහිවෙන්නේ. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයෙ දී. මෙහි සේවකයෝ 6000ට ආසන්න ප්‍රමාණයක් සහ උක් ගොවියො 10,000ක් පමණ කටයුතු කරනවා. මෙය අක්කර 35000ක පමණ භූමියක පැතිරිලා තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 20000කට, 25000කට වගේ ජීවිතය ගෙනියන්න උරදෙන මොණරාගල දිස්ත්‍රික්කයට තියෙන එකම රාජ්‍ය ආයතනය මෙයයි. මෙම ආයතනයට වසර 36ක ඉතිහාසයක් තිබෙනවා.

2011 සිට රාජ්‍ය සමාගමක් ලෙස තිබුණත් 2019 කාලය තෙක් දෙසැරයකට වඩා ලාභ උපයලා නෑ. 2019 වෙද්දි මේකෙ ශුද්ධ අලාභය මිලියන 1300ක්. ඒ විතරක් නෙමෙයි මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1500ක්. අපට මේ ආයතනය ලැබෙන්නෙ රුපියල් මිලියන 2500, 3000 පමණ ණයක් සහ අලාභයක් අතේ තියාගෙන. එවන් ආයතනයක් ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තැනට පත් කරන්න අපට හැකියාව ලැබුණා.

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබ සභාපති ලෙස පත්වීම් ලැබ එන්නෙ පාඩු ලබන රාජ්‍ය ආයතනයකට. එවැනි ආයතනයක් කෙටි කාලයක් තුළ ලාභ උපයන තැනට පත් කිරීම සඳහා ඔබ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත කුමක්ද ?

පිළිතුර – ඇත්තටම වසර 2020 වන විට අයතනයේ සේවය කරන සේවකයන්ට වැටුප් ගෙවන්නවත් මුදල් මෙහි මුදල් තිබුනේ නැහැ. මම පැමිණ පළමුව කළේ රුපියල් මිලියන 500ක් බැංකුවෙන් ණයට ගෙන අපේ සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කිරීමයි. මෙහි විකුණාගත නොහැකිව එතනෝල් තිබුණා. මෙහි හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ එවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, කැබිනට් ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර යන මහත්වරු එතනෝල් පිටරටින් ගෙන්වීම නැවැත්වීමට තීරණය කිරීමයි. ඉන් පසු 2020 දි රුපියල් මිලියන 1100ක ශුද්ධ ලාභයකුත්, 2021දි රුපියල් මිලියන 1600ක ශුද්ධ ලාභයකුත් ලැබුවා. මේ අවුරුද්දෙ අපේ ඇස්තමේන්තුව ශුද්ධ ලාභය රුපියල් මිලියන 5000 ක්. ඒ කියන්නෙ රුපියල් බිලියන 5ක්. අපි දැන් ඒ ආසන්නයට ඇවිත් තියෙන්නෙ. ඒ විතරක් නොවේ ඉතිහාසයේ පළමු වතාවට ලාභයෙන් සියයට 30 ක් රජයට ලබා දීමට වෙන් කර තිබෙනවා. මේ අවුරුද්දෙ රුපියල් බිලියන 5 ඉලක්කය සැපිරුවොත් රජයට රුපියල් බිලියන 1.5ක් දෙන්න අපට හැකියාව ලැබෙනවා.

ලංකා සීනි සමාගමේ 2022 ඉලක්කය රුපියල් බිලියන පහක ලාභයක්…සී/ස ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර

අප ආයතනයේ සාර්ථකත්වයට මම මුලින් කී ලෙස එතනෝල් ගෙන්වීම නැවැත්වීම සහ ඊට පසු ගත් ක්‍රියාමාර්ග රැසක් බලපෑවා. සීනි සමාගමේ වගා වපසරිය සහ නිෂ්පාදන ධාරිතාව වැඩිකර අපි උක් ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරකින් වැඩි කළා. ඒ අවුරුදු දෙකක වගේ කාලයක් ඇතුළත. මේ වෙද්දි ඉතිහාසයේ වැඩිම එතනෝල් ධාරිතාව ලීටර් මිලියන 13ක් නිෂ්පාදනය කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා එතනෝල් පිටරටින් ගෙන්වීම සඳහා වසරකට වැය කළ විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ඉතිරි කරන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.

සීනි සමාගමේ තවත් වර්ධනීය තත්ත්වයක් තමයි සෙවනගල ඉතිහාසයේ වැඩිම උක් ඇඹරුම මෙට්‍රික්ටොන් ලක්ෂ 3 ක් 2021 වසරේ සිදු කිරීම. පැල්වත්ත ඒකකයේත් එක් කන්නයක අඹරපු උක් ඇඹරුම මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක්. ඒ පසුගිය වසරේ මහ කන්නයෙ. මේ සියල්ල සිදු කරන්නේ කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුද පවතින මොහොතක. මම හිතන්නෙ කොවිඩ් වසංගතයටවත් වහන්නෙ නැතිව වැඩ කළ රජයේ එකම නිෂ්පදන ආයතනය අප ආයතනය කියලා.

මේ වසර සඳහා මේ වනවිට අපි උක් ඇඹරුම් වාරය සාර්ථකව නිම කර තිබෙනවා. පසුගිය වසර දෙක තුන තුළ අපි පොහොර, ජලය ඇතුළු අනිකුත් දෑ වෙලාවට ලබාදුන් නිසා ඵලදාව වැඩි කර ගන්න හැකි වුණා. උදාහරණක් ලෙස 2019 වසරෙදි පැල්වත්තෙ ඇඹරිය හැකි උක් ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් වෙද්දි උක් නිෂ්පාදනය වුණේ ලක්ෂ 2 යි 80 ක් පමණ. හැබැයි අපි ගිය අවුරුද්ද අවසන් වෙද්දි උක් සැපයුම තවත් ලක්ෂ 2 කින් වැඩකර මෙට්‍රික් ටොන් හාරලක්ෂ අසූදාහක් ඇඹරුවා. අවුරුදු ගාණක් වැඩ නොකර තිබුණු වගා බිම්වලට ගිහින් ඒවායේ උක් වගා කළා. ඒ වගේම කිසිම දිගු කාලීන සැලැස්මක් නැතුව ක්‍රියාත්මක වූ ආයතනයට පස් අවුරුදු සැලැස්මක් සාදා එය ක්‍රියත්මක කළා. නව රජය පත්වීමෙන් පසු එවැනි පස් අවුරුදු සැලැස්මක් සැකසූ පළමු රාජ්‍ය ආයතනය තමයි අපි. එවැනි විධිමත් ක්‍රියාමාර්ග තුළ පාඩු ලැබූ රාජ්‍ය ආයතනයක් ලාභ ලබන තැනට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.

ප්‍රශ්නය – මේ විදිහට සාර්ථක වෙද්දි සේවකයන්ට, උක් ගොවියන්ට ඒ ප්‍රතිලාභ බෙදුනෙ කෙසේද?

පිළිතුර – අපි එද්දි උක් ගොවියෙක්ට උක් ටොන් එකක් සඳහා රුපියල් 5000 යි ලබා දුන්නෙ. අද වෙද්දි එය රුපියල් 8000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ දෙන්නෙත් පොහොර සහනාධාර, බීජ සහනාධාර, බිම් සකස් කිරීම් සියල්ල වැනි අනෙකුත් සහනාධාරත් ලබා දෙන ගමන්. එතනින් තමයි අපේ හැරවුම ලැබුණේ. අවුරුදු 20ක් 30ක් වැඩ කරපු සේවකයන්ගෙ සේවය ස්ථිර කළා. ඒ වගේම වසර ගණනාවක් ලැබී නොතිබුණු සේවක උසස්වීම් ලබා දෙන ගමන් 2013 වසරේ රාජ්‍ය සේවකයන් වෙත ලබා දුන් එහෙත් අප සමාගමේ සේවකයන්ට ලබා දී නොතිබූ රුපියල් 7800.00 ජීවන වියදම් දීමනාව අදියර දෙකකින් ආයතනයේ මූල්‍ය තත්ත්වය සලකා බලා ඔවුන්ගේ වැටුපට එකතු කළා. දැන් සේවකයෝත් ගොවියෝත් උද්‍යෝගිමත් සහ ඔවුන් ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. අපි සමග සේවක සංගම් 17ක් සහ ගොවි සංගම් රාශියක් සිටිනවා. අවුරුදු තුනක් ඇතුළත පළමු වතාවට ඒ සියලු දෙනාම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකම මේසයකට ගේන්න අපට පුළුවන් වුණා.

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ වනවිට ප්‍රශ්න නැහැ කියන එකද?

පිළිතුර – ඇත්තටම දැන් ප්‍රශ්න බොහොම අඩුයි. අපේ ක්‍රියාවලිය විධිමත්ව හොඳින් කෙරෙනවා. පොහොර ප්‍රශ්නෙදි රටේ හැම තැනම ගොවියො පාරට බහිද්දි, පාරට බැස්සෙ නැත්තෙ මොණරාගල උක් ගොවියො විතරයි. අපි පොහොර අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන හිටිය. ගොවියන්ට සහ සේවකයන්ට ගිය අවුරුද්දෙ අපි බෝනස් දෙපාරක් ගෙව්වා.

දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය නිෂ්පාදන අතිරික්තයක් තිබීම. සෙවනගල දෙවන අදියර ආරම්භ කරන්න හිටියත් ඩොලර් අර්බුදය නිසා එය ඇනහිට තිබෙනවා. එයින් අපිට වැඩිපුර මෙට්‍රික් ටොන් 60000ක් අඹරන්න පුළුවන්. එයට අවශ්‍ය ලෙස වගාව සකස් කළාම, ඒ සඳහා අවශ්‍ය මැෂින් සවිකරන්න ඩොලර් නැතුව ගියා. ලබන අවුරුද්ද වෙද්දි අපි එය කරනව. පැල්වත්ත තව ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එහි අවුරුදු 35ක් පරණ ටර්බයින් එකක් ක්‍රියා විරහිත වුණා. එහි ලක්ෂ 6ක් ඇඹරීමේ ධාරිතාවක් ඇතත් මේ අවුරුද්දෙ අඹරන්න වෙන්නෙ ලක්ෂ හතරයි අනූවයි. රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා විදේශීය සේවයක් ලබා ගැනීමේ හැකියාවක් අපට නැහැ. නමුත් ලබන වසරෙදි එම ප්‍රශ්නයටත් විසඳුම් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබගේ මීළඟ සැලසුම් කෙබඳුද ?

පිළිතුර – එකක් තමයි සෙවනගල දෙවැනි අදියර. මේ කර්මාන්තය වාරිපෝෂිත කර්මාන්තයක්. එයට අවශ්‍ය ජලය නිසි ලෙස ලබාදීම. අපේ හිටපු රාජ්‍ය ඇමැතිතුමා වුණු ජානක වක්කුඹුර මහතාගේ මූලිකත්වයෙන් ලංකා සීනි සමාගමේ තුන්වැනි කර්මාන්ත ආයතනය වේලිඔය අපි පටන්ගන්න සැලසුම් කළා. ඒත් ඒක මේ ආර්ථික, දේශපාලන අර්බුදය නිසා පසුපසට ගියා. හැබැයි අපි දැන් බලාපොරොත්තු වෙනව ඒක ඉදිරියට ගෙනියන්න. ඒකට අවශ්‍ය ඉඩම් මේ වෙද්දි හඳුනාගෙන තියෙනව. අපිට පුළුවන් වෙයි ඒ තුළින් තව ගොවි පවුල් 5000ක් විතර මේ සඳහා සම්බන්ධ කරන්න. ලොහාන් ඇමැතිතුමත් බොහොම උනන්දුවෙන් මේ වැඩවලට දිවා රෑ වෙහෙසෙනව. එතුම දුවල පැනල වැඩකරන ඇමැතිවරයෙක්. එතුමට ලොකු ඕනකමක් තියෙනව වේලිඔය ව්‍යාපෘතිය ගැන. අපි ඒක කරනව.

ඒ වගේම ලංකාවෙ විශාලතම ජෛව පොහොර නිෂ්පාදනාගාරය අපි පටන් ගත්ත. ඒකෙ වැඩ කටයුතු ඩොලර් අර්බුද නිසා නැවතිලා. ඒකත් ඉදිරියෙදි පටන් ගන්නව. ඒකෙන් හදිසියෙ කරන්න ගිය පොහොර වැඩේට ස්ථිර විසඳුමක් දෙන්න පුළුවන්. අපේ පස් අවුරුදු සැලසුමේ තිබුණු රුපියල් බිලියන පහේ ඉලක්කය අවුරුදු තුනෙන් ළඟාකර ගත්තා. දැන් අපි ඉන්නෙ ඊට වඩා ඈත රුපියල් බිලියන 10ක විතර ලාභයක් ලැබීමේ ඉලක්කයක.

ප්‍රශ්නය – කොපමණ සීනි ප්‍රමාණයක් සීනි සමාගමෙන් වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙනවාද?ඔබ මේ ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙනාවත් ඔබතුමාට එන චෝදනාවක් තමයි ඔබ ආයතනයෙන් හම්බකරනවා කියන එක. මොකක්ද මෙහි ඇත්ත නැත්ත…?

පිළිතුර – චෝදනා ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකා සීනි සමාගම කියන්නේ විශාල පාඩු ලැබූ ආයතනයක්. දැන් එය රුපියක් බිලියන 5 ක් පමණ ලාභ ලබන එකක්. අවාසනාවකට ඒ ගැන කතා නොකර කිහිප දෙන්නෙක් බොරු චෝදනා කරනවා. අපි හොරකම් කරනවද නැද්ද කියන එක ගැන ලොකුම සාක්ෂිය දරන්නෙ වැඩකරන සේවකයො සහ ගොවියො. හොරකම් කරන්න බැහැනෙ පවුල් 20,000 කගෙ විතර ඇස් වහල. මම හිතන්නෙ මේ කාරණය නිසා තමයි රාජ්‍ය සේවය ගොඩගන්න බැරි. පෞද්ගලීකරණය කරන්න ඕන කියල කියන්නෙ මේ වගේ කාරණා නිසයි. මොකද කවුරු හරි හොඳින් වැඩ කරද්දි, හරි දේ වෙනුවෙන් ඉදිරිපත් වෙද්දි නොයෙක් බලපෑම් එනව. ඒ බලපෑම්වලට යටත් නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩකරද්දි කෙළින් ගහන්න බැරි නිසා මොකක් හරි ක්‍රමයකින් ගහන්න බලනව. අපිට එල්ල කරන චෝදනා සියල්ල නිර්නාමිකව තමයි ඉදිරිපත් කරන්නෙ. අපි හරි කැමැතියි ඕනෑම චෝදනාවකට උත්තර දෙන්න. එහෙම චෝදනා ගැන විමර්ශනය කරන රාජ්‍ය ආයතන තියෙනව. ඒවට සාක්ෂිත් එක්ක ගෙනිහින් කියන්න. එතකොට බලාගන්න පුළුවන් ඇත්ත නැත්ත මොකක්ද කියල. මම මේ ගැන ජනාධිපතිතුමාටත්, ලිපියකින් දන්වල තියෙනව මොනයම් හෝ චෝදනාවක් තියෙනව ඒ ගැන අපක්ෂපාතී ඕනම පරීක්ෂණයක් කරල වැරැද්දක් කරල තියෙනව නම් දඬුවම් දෙන්න කියල.

සංවාදය –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment