ලංගම සභාපතිට අස්වෙන්න කිව්වේ රජයේ තීරණවලට පටහැනි වැඩ නිසා – ඇමැති බන්දුල ගුණවර්ධන

81

තමන් ලංගම සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දු සහ අරමුණුවලට පටහැනිව කටයුතු කිරීම නිසා බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විෂය භාර ඇමැතිවරයා ලෙස ගමනාගමන මණ්ඩල පනතින් තමන්ට ලැබී තිබෙන බලතල ප්‍රකාරව එම තීරණය ගත් බවද ඇමැතිවරයා කීවේය.

පවතින ඉන්ධන සහ ආර්ථික අර්බුදය හමුවේ දක්‍ෂිණ අධිවේගයේ සහ අනෙකුත් මාර්ගවලින් පැමිණෙන රථ කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ගාල් කර සුඛෝපභෝගී ලංගම බස්රථ මගින් ජනතාවට කොළඹට යෑමට අවස්ථාව ලබාදෙන ව්‍යාපෘතියක් රජය මගින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබිණි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය කොරෝනා වසංගතය හේතුවෙන් නතරවී තිබියදී එය යළි ආරම්භ කර ඇත්තේ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසුවය. එලෙස යළි ආරම්භ කෙරුණු ‘පාක් ඇන්ඩ් රයිඩ් සිටි’ නමැති එකී ව්‍යාපෘති පඩු ලබන බව පවසමින් විෂය භාර ඇමැතිවරයා ලෙස තමාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට නොදන්වා නතර කර දැමීමට ලංගම අධ්‍යක්‍ෂ මණ්ඩලය කටයුතු කර ඇතැයිද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නා තීන්දුවලට අනුව කටයුතු කිරීම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්‍ෂවරුන්ගේ වගකීමක් බව කී ඇමැතිවරයා පාඩු ලබන බව පවසා මේ අන්දමට රටේ දුෂ්කර ප්‍රදේශවල ධාවනය කෙරෙන බස්රථ නතර කිරීමට ලංගම කටයුතු කළහොත් පීඩාවට පත්වන්නේ ජනතාව බවද පැවසීය.

මෙම තත්ත්වය වාර්තා වූ වහාම ලබන ජනවාරි 15 වැනිදා සිට ජනතාවට කොළඹ නගරයට පැමිණීම සඳහා ක්‍රියාත්මක කළ පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව යළි අරඹන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment