ලංවිමයෙන් මහජන උපයෝගිතා කොමිසමට කෝටි අටක පොල්ලක්

133

වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබිය යුතු රුපියල් අටකෝටි දහඅට ලක්ෂ පනස්දෙදහස් හත්සියයක මුදලක් මේ වනතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් මහජන කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් 2014/2015 යන වර්ෂයන්වල සිට මෙම මුදල් අයවිය යුතුව ඇති බවද විගණනය මගින් පෙන්වා දී ඇත. එමෙන්ම නියාමන ගාස්තු වශයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වෙනත් ආයතනවලින් රුපියල් එක්කෝටි පනස් එක්දහස් හත්සිය විසිඑකක මුදලක් ලැබිය යුතුව තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එම මුදලින් 2021 ජුනි මස 30 වැනි දින වනවිට රුපියල් 726,954ක පමණ මුදලක් අයකර ගෙන තිබුණි. විදුලිබල මණ්ඩලයේ අයවිය යුතු මුදල සම්බන්ධයෙන් 2021.12.23 වැනිදා රැස්වූ විගණන හා කළමනාකරණ කමිටුව විසින් යෝජනාකොට ඇත්තේ මෙකී මුදල බොල් ණය ලෙස කපාහැරීමට ප්‍රථම කොමිෂන් සභාව මෙම මුදල අයකර ගැනීමට සියලු උත්සාහයන් දැරිය යුතු බවය. මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ද විගණන හා කළමනාකරණ කමිටුව මගින් යෝජනා කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද
 

advertistmentadvertistment
advertistmentadvertistment