ලංවිම කොම්පැනි 18කට කඩන්න යනවා – පාඨලී… තමන්ට බැරි වුණදේ කරන විට අකුල් හෙළන්න එපා – ඇමැති කංචන

317

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ කොම්පැනි 18කට වෙන් කිරීමට යන බව කියමින් විපක්ෂ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) අදහස් පළ කරන විට විදුලි බල හා බලශත්කි ඇමැති කංචන විජේසේකර මහතා ද පිළිතුරු ලබා දීමේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

පාඨලී චම්පික රණවක මහතා –

‘කමිටු යෝජනා අනුව ලංකා විදුලිබල මණ්ඩලය කොම්පැනි 18කට වෙන් කරනවා. විශේෂයෙන්ම ජනනය සඳහා කම්පැනි 6 ක්. ලක්ෂපාන, කැලණිතිස්ස, මහවැලි ජල විදුලි පද්ධති, සමනල වැව හා අනෙකුත් විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි පද්ධති, පුත්තලම බලාගාරය, තාප ජනන බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය ඒ හයයි. බලාගාර ඉදි කරලා තියෙන්නේ විදුලි බලය සඳහා පමණක් නෙවෙයි. පානීය ජලය, වාරිමාර්ග හා අනෙකුත් කටයුතු සඳහා. දැනට ලක්ෂපාන බලාගාර සංකීර්ණයේ රුපියල් 2.41යි විදුලි ඒකකයක්. මහවැලි සංකීර්ණයේ රුපියල් 2.70යි විදුලි ඒකකයක්. සමනල සංකීර්ණයේ රුපියල් 3.68යි ඒකකයක්.

මේවා වෙළෙඳපොළේ විකිණීමට සම්ප්‍රේෂණ පද්ධතියේ ෂීධ නමින් ආයතනයක් පිහිටුවන්න යනවා. එය වෙළෙඳ පද්ධතියක්. ඒ අනුව ඕනෑම තොග වෙළෙන්දකුට විදුලිය ගන්න පුළුවන්. පොදු වෙළෙඳාමට ගිය හැටියේ අඩු වියදමට තියෙන විදුලි බලාගාරයට වැඩි ඉල්ලුමක් එනවා. ජල විදුලිය අනිවාර්යෙන්ම තාප විදුලිය තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා මේ ගැන මේ පාර්ලිමේන්තුවේ විධිමත් අධ්‍යනයක්, විධිමත් විවාදයක් කළ යුතුයි. බෙදාහැරීම් කලාපත් කොම්පැනි කරන්න යෝජනා කරලා තියෙනවා. එල්. ටී. එල්. ආයතනය, ලංකා කෝල් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධකය, ඒ වගේම අනෙකුත් උපකාරක සේවා, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දෙනවා. ඒ සී පවත්වාගෙන යනවා, සියලුම ණය වෙනත් ආයතනයකට ගන්නවා, නියාමන ආයතනයක් ගේනවා, නිල විනිශ්චය සභාවක් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා, ඒ වගේම බලශක්ති අමාත්‍යාංශයෙන් මේ බලය මුදල් අමාත්‍යාංශයට අරගෙන 2002 තිබුණා වගේ ආයතනයක් පිහිටුවන්නත් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේම විදුලිබල මණ්ඩලය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා සහනයක් දෙනවා කියලා. සහනයක් දෙන්න ඒකක 300 වැඩි අයට. ඒකක 300 අඩුවෙන් පාවිච්චි කරන සියලු දෙනාටම මේ ජල විදුලියේ, ඒ වගේම අනෙකුත් අඩු බලාගාරවලට යන්න පුළුවන්. ඒ වගේම මේ පාඩුව නමින් හඳුන්වපු කාරණය, ලංකා විදුලිබල මණ්ඩලය හදලා තියෙනවා සිනාරියෝ 12ක්. ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ, දිනකට ඒකක ගිගාවොට් 47ක් වැයවෙනවා කියලා. දෙසැම්බර් පස්වෙනිදා වැයවෙලා තියෙන්නේ ගිගාවොට් 35.5යි. මේ මිල ගණන් බැලුවහම ගිගාවොට් පැය 35.5 නම් ගිගාවොට් 47 ජනන වියදම බිලියන 790යි. 35.5 හැදුවහම ජනන වියදම බිලියන 370 යි. මේ පිළිබඳව විධිමත් ආකාරයේ පරීක්ෂණයක් ස්වාධීන කණ්ඩායමක් මගින් සිදු කළ යුතුයි මහජන උපයෝගිතා කොමිසමත් එක්ක. අපේ ආර්ථික ස්ථායිකරණ අනු කමිටුව මගින් ආසියානු සංවර්ධන බැංකුවට ආරාධනා කළා මේ ලෝකය පුරා බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකරන යම් යම් පරිවර්තන ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න කියලා. මම ආරාධනා කරනවා සියලුම මන්ත්‍රීතුමන්ලාට මේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව, බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ලෝකයේ අත්දැකීමත්, ලංකාවේ සිදු කරන්න යන ක්‍රියාවලිය ගැනත් ඒ සංවාදයට දායක වෙන්න කියලා.”

ඇමැති කංචන විජේසේකර මහතා –

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ වාර්තාව මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ලබා දීලා තිබෙනවා. නමුත් පාඨලී මන්ත්‍රීතුමා ඒකෙන් කොටසක් විතරයි උපුටා දැක්වූවේ. අපේ සමනල වැව, මහවැලි, ලක්ෂපාන, නොරොච්චෝලේ වගේම සුළං බලයෙන් ක්‍රියාත්මක වන සියලුම බලාගාර වෙන වෙනම කම්පැනි බවට පත් කරන්නයි යන්නේ. එහෙම කරන්නේ මේවායේ කාර්යක්ෂමතාව වැඩි කරන්නයි. ඒ වගේම මේ වාර්තාවේ තිබෙනවා සුළං බලාගාර සහ ජල විදුලියෙන් ක්‍රියාත්මක බලාගාර සියල්ලම රජය සතුව තබා ගත යුතුයි කියලා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ සමනල, ලක්ෂපාන, මහවැලි වගේම පුත්තලමේ තිබෙන සුළං බලාගාර සහ අපේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර සියල්ලම රජය සතු ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන්නයි. ඒ නිසා මෙතුමා කියන විදිහට ඒවා පුද්ගලික අංශයට යන්නේ නෑ. ඒ වගේම ස්වාධීන කමිටුවක් දාලා තිබෙනවා, විදුලිය අඩු මිලකට මිල දී ගන්නවා. පාඨලී මන්ත්‍රීතුමා හිටපු විදුලි බල අමාත්‍යවරයෙක් වගේම මට වඩා විෂය දැනුම තිබෙනවා. නමුත් ඔහු ජනතාව නොමග යවනවා. ඒ ගැන කනගාටුයි. මේක මම හදපු වාර්තාවක් නොවෙයි. ලබන වසරේ මීට වඩා විදුලිය භාවිත කරන ප්‍රමාණය සියයට එකකින් වැඩි වෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය ඔක්තෝබර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 112ක් පාඩුයි, මේ වසරට පමණක්. මේ වසර අවසන් වන විට බිලියන 152ක් දක්වා ඒ අලාභය වැඩි වෙයි කියලා උපකල්පනය කරනවා.

පාඨලී චම්පික රණවක මහතා – මේ ආර්ථික අර්බුදයත් සමග ලබන වසරේ විදුලිය අවශ්‍යතාව අඩුවෙනවා. ඒ වගේම ඇමැතිතුමා කිව්වා මේවා පුද්ගලික ආයතනවලට දෙන්නෑ කියලා. ඒ ගැන මීට වඩා රජයේ බලගතු ප්‍රකාශයක් අවශයයි. මේ පනත ගැන අපි බලන් ඉන්නවා. හය මාසයක්වත් මේ පනත ගැන බලන්න ඕනා. ඊට පසුව තමයි තීරණය කරන්න ඕනා. ඔය කියන වාර්තාව මට ලැබුණේ නෑ. මන්ත්‍රීවරයෙක් විදිහට නමුත් එය මම ගත්තා. මම වගකීමෙන් කියනවා මේ කම්පැනිකරණයත් එක්ක බලශක්ති වෙළෙඳපොළක් ඇති වීම මිසක් ඔය කියන ආකාරයේ වාසියක් වෙන්නේ නෑ කියලා.

කංචන විජේසේකර මහතා- නොවැම්බර් 28 දා මමමයි එතුමාට වට්ස්ඇප් කළේ. මේ හැම මන්ත්‍රීවරයෙකුටම මම යවලා තිබෙනවා ඒ වාර්තාව. අපිට රට වහන්න බෑ. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්න ඕනා. කර්මාන්ත සංවර්ධනය කරන්න ඕනා. ඒ සඳහා විදුලි බලය අවශ්‍යයි. ඒ සඳහා තමයි රජය ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රතිව්‍යුහගතකරණය හැම කෙනොම පිළිගන්නවා. හැබැයි තමන්ගේ කාලයේ මේක ගේන්න බැරිවුණා කියලා දැන් මේක ගේනකොට අවහිර කරන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment