ලංවිම දීමනා කෝටි 50කින් කපයි – ලයිට් කැපුවත් ලොක්කන්ගේ ප්‍රතිලාභ වෙනසක් නෑ

230

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ පා තිබෙන දැඩි මූල්‍ය අර්බුදය නිසා සේවකයන්ට ගෙවනු ලබන අතිකාල, බටා ඇතුළු විවිධ දීමනා රුපියල් කෝටි පනහකින් කපා හැරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

නමුත් විසිහතර දහසකට ආසන්න ලංවිම සේවකයන්ට වැටුප් සඳහා මේ වනවිටත් රුපියල් කෝටි තුන්සිය පනහකට අධික මුදලක් වැය වන අතර එයින් සියයට විස්සකට අධික මුදල් ප්‍රමාණයක් ඉංජිනේරුවන්ගේ වැටුප් හා දීමනා සඳහා ගෙවීමට සිදුවී ඇතැයි ලංවිම පාලනාධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

විදුලි ගාස්තු ඉහළ නොදැමීම නිසා සේවක පඩි නඩි ගෙවීම මේ වනවිට අභියෝගයට ලක්ව තිබෙන බව ද, විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් ඔවුන් දරණ තනතුරුවලට අමතරව වෙනත් තනතුරු ආවරණය කිරීම නිසා ඔවුන්ට ගෙවන අමතර දීමනා කප්පාදු කිරීමට නොහැකි වී ඇතැයි ද හෙතෙම පැවසීය. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිවලටද පටහැනිව වයස මත (ජ්‍යෙෂ්ඨත්වය අනුව) උසස්වීම් ලබාදීම නිසා දින දෙකතුන හෝ මාසයකට අඩු සේවා කාලයක් ඇති විශ්‍රාම යෑමට ආසන්න නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්කිරීම ඇතුළු අනවශ්‍ය වියදම් කපාහැරීමට නොහැකිව ඇතැයි ද එම නිලධාරියා කීය.

ලයිට් කැපුවත් ඉහළ නිලධාරීන්ගේ ප්‍රතිලාභ කප්පාදු කිරීමට නොහැකි වී ඇත්තේ විදුලි ඉංජිනේරුවන් සියලු පරිපාලන කටයුතු ඔවුනගේ ග්‍රහණයට ගෙන තිබෙන නිසා යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment