ලංවිම පාඩුව කෝටි 14,000 පනී

170

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි 14,000 ඉක්මවා ගොස් ඇතැයි ගණනය කිරීමේදී හෙළිවී තිබේ.

මෙම සමස්ත පාඩුව අතර හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා විදුලිබල මණ්ඩලයට ලැබිය යුතු රුපියල් කෝටි 4700 ක් තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් පැවසීය.

මින් වැඩිම බිල්පත් ප‍්‍රමාණයක් ගෙවීම් පැහැර හැර ඇත්තේ රාජ්‍ය ආයතන වන අතර ඉන් වැඩිම හිඟ බිල්පත් ප‍්‍රමාණයක් නොගෙවා ඇත්තේ රජයේ රෝහල්ය. මීට අමතරව පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව හා අනෙකුත් රාජ්‍ය ආයතන තිබේ.

මැති ඇමැතිවරු පදිංචිව සිටින ඇමැති හා මන්ත‍්‍රී නිවාසවලින්ද රුපියල් මිලියන ගණන් අය විය යුතුව තිබෙන අතර ඇතැම් බිල්පත් ගෙවා තිබෙන කාලසීමාව සළකා බැලීමේදී එය 1977 දක්වා දික්වන බව ද හෙතම සඳහන් කළේය.

ඒ ඒ කාලයේදී බලයට පත්වන ආණ්ඩු හා ඒ ඒ අවස්ථාවලදී ඇමැතිවරු අදාළ නිල නිවාසවලින් මාරු වී යද්දී බිල්පත් නොගෙවීම නිසා ඒවා කලක් තිස්සේ අයකර ගැනීම ගැටලූකාරී වී ඇත.

ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු විසින් මෙම බිල්පත් ගෙවීමේ වගකීම දරන අතර බොහෝ මැති ඇමැතිවරුන් නිල නිවාසවල වායුසමීකරණ ඇතුළු අනෙකුත් විදුලි උපකරණ ඇති තරම් භාවිත කර ගෙවීම් පැහැර හැර ඇතැයිද හෙතෙම කීය.

ඉකුත් කාලයේදී ඉන්ධන මගින් රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීම නිසා විදුලි ඒකකයක් නිපදවීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීමෙන් පාඩුව වැඩිවී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment