ලංවිම හිටපු ලොක්කාගේ ප්‍රකාශය ගැන අදානි  කලකිරීමෙන් – ඉන්දීය මාධ්‍ය කියයි

255

මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙසට ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බලපෑම් කළ බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව අදානි සමාගම ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

තම සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට යොමුවූයේ වැදගත් ආයෝජනයක් ලෙස සලකා බලමින් සහ එවැනි ආයෝජනයක ඇති අවශ්‍යතාව සැලකිල්ලට ගෙන බවත් අදානි සමාගමේ ප්‍රකාශකයකු ඉන්දීය මාධ්‍ය වෙත කළ ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතාවද සැලකිල්ලට ගෙන අසල්වාසී රටක මෙලෙස ආයෝජනයක් සිදුකිරීමට අවධානය යොමුකළ බවද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.

අදානි සමාගමේ මෙම ප්‍රකාශයට පදනම වූයේ යෝජිත සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා තමාට බලපෑම් කරනවායි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමාට පැවසූ බව විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා ඉකුත් 10 වැනිදා පැවැති කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයයි.

මෙම ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපතිවරයා ඊට පසු දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තමා එවැනි ප්‍රකාශයක් විදුලිබල මණ්ඩල සභාපතිවරයාට සිදුනොකළ බවයි.

මෙම පසුබිම හමුවේ විදුලිබල මණ්ඩල සභාපතිවරයා පසුගිය 12 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ජනාධිපතිවරයා තමාට මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධව කිසිවක් සඳහන් නොකළ බවත් ඉන්දීය අගමැතිවරයා බලපෑම් කළ බව පැවසුවේ කෝප් කමිටුව හමුවේ පැවැති ප්‍රශ්න කිරීම් නිසා තමා සිටි මානසික ආතතිය හේතුවෙන් බවත්ය. ඒ අනුව තමා සිදුකළ එම ප්‍රකාශය ගැන කනගාටුවන බව සඳහන් කරමින් ඒ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිධුරයෙන්ද ඉල්ලා අස්විය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment