ලකඹර රකින ගුවන් හමුදාව ලක් පොළොව සරු කරන්නේ මෙහෙමයි…

249

තැනක යුහුසුළුව වැඩෙහි යෙදී සිටින ගුවන් හමුදා සාමාජිකයන් පිරිසකි. ඉන් මදක් ඈතට වන්නට දකින්නට ලැබෙන්නේ කාබනික පොහොර නිෂ්පාදනය පිණිස අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන් වෙන්ව තොග වශයෙන් තැන්පත් කර ඇති ආකාරයකි . ඒ අසල පිහිටි ගබඩාවක් මුළුමනින්ම වෙන්ව ඇත්තේ නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් අනතුරුව පොහොර උර මත අසුරන ලද කාබනික පොහොර ගබඩා කර තැබීම පිණිසය. හාත්පස වැඩබිමක සිරිගත් මෙම දර්ශන පෙළ දැකගත හැකි වූ ඉකුත් දිනක කොළඹින් දින දුර බැහැර වන්නි ප‍්‍රදේශයේ අප කළ සංචාරයක් අතරතුරදී ය.

ඉහත විස්තර කරන ලද්දේ ”හරිත රටක් – වසවිසෙන් තොර හෙටක්” සංකල්පය මත ලක් පොළොව සුවපත් කිරීමේ වගකීම්සහගත මෙහෙයුමක් පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට උර දී සිටින ආකාරයක්ය. එම දැවැන්ත ව්‍යාපෘතියේ අරමුණ බවට පත්ව ඇත්තේ මෙරට ගොවි ජනතාව නඟා සිටුවීම පිණිස කාබනික පොහොර නිෂ්පාදනය කිරීමත් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශක්ති ප‍්‍රමාණයෙන් දායකත්වය ලබා දීමත්ය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල- වන්නිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවනු ලබන්නේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ උපදෙස් හා මගපෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින්ය. එලෙස නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ”ලක් පොහොර” සන්නාමය යටතේ දැනටමත් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කර ඇත. ගුවන් හමුදා සාමාජිකයන්ගේ පූර්ණ ශ‍්‍රම දායකත්වය සහ ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂය විසින් ගුවන් හමුදා යාන්ත‍්‍රික ඉංජිනේරුවරුන්ගේ මැදිහත්වීම් මත නිපදවනු ලැබූ නවීන යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයෙන් සිදුකරන මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ තවත් වැදගත්ම අංගයක් බවට පත්ව ඇත්තේ එම ස්ථානයේ නිෂ්පාදිත කාබනික පොහොර ප‍්‍රමිතිය අතින් ඉහළම අගයක් ගැනීමය. රසායනාගාර පරීක්ෂණ වාර්තා ආදියෙන් ඒ බව තහවුරු වී ඇත.

ලකඹර රකින ගුවන් හමුදාව ලක් පොළොව සරු කරන්නේ මෙහෙමයි…

”හරිත රටක් – වස විසෙන් තොර හෙටක්” සංකල්පය සැබෑවක් බවට පත් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි නිලධාරී ගෲප් කපිතාන් රජිව් කොඩිප්පිලි මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති අතරින් දැවැන්තම ව්‍යාපෘතිය මෙය වන බවත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කොට කෙටි කලක් ගතවීමත් සමඟ කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 25ක් පමණ ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විසින් මේ වන විට සමත් වී ඇති බවක්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෲප් කපිතාන් රජීව් කොඩිප්පිලි මහතා,
”ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ මගපෙන්වීම මත තමයි මේ කාබනික පොහොර ව්‍යාපෘතිය පිණිස ගුවන් හමුදාව ලෙස අපි මැදිහත් වෙන්නේ. ඒ අනුව 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 22 වැනිදා මේ කටයුත්ත මුල්වරට මේ ස්ථානයේ ආරම්භ කරනව. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස මීට පෙරත් කාබනික පොහොර නිෂ්පාදනය පිණිස අපි යොමු වෙලා හිටිය. නමුත් සුළු පරිමාණ අයුරින් තමයි අපේ නිෂ්පාදන කටයුත්ත සිද්ධ වුණේ. මේ ස්ථානයේ තමයි මුල්වරට මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක වැඩ ආරම්භ කරන්න අපට සිද්ධ වුණේ. මෙතනදි අපි දැක්ක දෙයක් තමයි මේ වගේ මහා පරිමාණ නිෂ්පාදන කටයුත්තක් පිණිස මිනිස් ශ‍්‍රමය විතරක් ප‍්‍රමාණවත් නැහැ කියල. ඒ නිසා අපි තීරණය කළා මෙම කාබනික පොහොර නිෂ්පාදනය වඩාත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය කරන යන්ත‍්‍ර සූත‍්‍ර කීපයක් අපි විසින්ම නිපදවා ගන්න ඕන කියල. ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ඒ කටයුත්තත් සාර්ථකව නිමා කර ගන්න අපට පුළුවන්කම ලැබුණා. මා සඳහන් කළ කාරණා සියල්ලම ඒ අයුරින් සැබෑ වීම තුළ මේ ව්‍යාපෘතිය වඩාත් සාර්ථක වුණා කියල සඳහන් කරන්නත් පුළුවන්. ඒ හේතුවෙන් ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය කරන කාබනික පොහොර ප‍්‍රමාණයෙන් මෙටි‍්‍රක් ටොන් 75ක පමණ ප‍්‍රමාණයක් ඉදිරියේදී නිෂ්පාදනය කරන්න දැනටමත් සැලසුම් කරල තිබෙනව. ඒ ඉලක්කයට යන්න අපට පුළුවන්. අපි හැම විටම කටයුතු කරන්නේ මේ කාබනික පොහොර නිෂ්පාදන ක‍්‍රියාවලිය ජාතික කර්තව්‍යයක් ලෙස සලකමින් කියලත් මේ වෙලාවේ සඳහන් කර සිටිනව. ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස අපට නිරන්තර සහයෝගය ලබාදෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල – වන්නි අණදෙන නිලධාරිතුමාවත් සෙසු නිලයන් ඇතුළු අනෙකුත් ගුවන් හමුදා සෙබළුන් සියලූ දෙනාටත් මේ වෙලාවේ මගේ ප‍්‍රශංසාව පිරිනමනව…”

ලකඹර රකින ගුවන් හමුදාව ලක් පොළොව සරු කරන්නේ මෙහෙමයි…

රටට බත බුලත සපයන ගොවි ජනතාවගේ හෙට දවස වඩාත් යහපත් කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දියත් කොට ඇති මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය මේ වන විටත් ලක් පොළොව මත සැබෑවක් බවට පත්ව ඇත්තේ ඒ ආකාරයෙන්ය. ඉකුත් දිනක වන්නි ප‍්‍රදේශයේ අප කළ සංචාරයක් අතරතුර ඒ බව මැනවින් දැකගත හැකි වූහ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ‍්‍රයට අයත් වෙනත් ස්ථානයක ක‍්‍රියාත්මක මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය පිණිස අවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් බොහෝමයක් එම ප‍්‍රදේශය මුල් කරගනිමින් ලබා ගැනීම එහි ගිය අපට දැකගත හැකිවූ තවත් විශේෂ කරුණක් විය. අමුද්‍රව්‍ය ආදියෙහි පවතින ගුණාත්මක භාවය සහ අදාළ නිෂ්පාදන ක‍්‍රියාවලියේ විධිමත් බව හේතුවෙන් ගොවි ජනතාව වෙත ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක් ලබා දීමට ද මෙම ව්‍යාපෘතියට හැකියාව ලැබී ඇත. ඒ පිළිබඳව වව්නියාව ජාතික පොහොර ලේකම් කාර්යාලය දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ බන්දුල විජේවර්ධන මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ඒ මහතා,

”ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉතාමත් සාර්ථක අයුරින් සිදුවෙමින් පවතින බව ඉතාමත් සතුටින් මතක් කර සිටිනව. මේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ අපි දකින විශේෂත්වය තමයි සමස්ත නිෂ්පාදනයම නියමිත ප‍්‍රමිතියට අනුව සිදුවීම. ඒක විශේෂ තත්ත්වයක්. මෙන්න මේ උසස් බවින් යුක්තව කාබනික පොහොර නිෂ්පාදනය වෙනත් තැන්වලත් කරන්න පුළුවන් නම් රටට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය හිඟයකින් තොරව මේ රටේම නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනව. ගුවන් හමුදා විසින් නිෂ්පාදනය කරන කාබනික පොහොර තත්ව සහතිකයක් යටතේ නිකුත් කිරීමේ අවශ්‍යතාවය මත ලංකා පොහොර සමාගම විසින් පරීක්ෂා කර බලද්දී අපි දැක්ක දෙයක් තමයි අවශ්‍ය කරන නයිටි‍්‍රජන් ප‍්‍රමාණය ඒවගේම පොස්පරස්, පොටෑසියම් කියන රසායනික සංයුතිය ඉතාමත් හොඳින් මේ පොහොර නිෂ්පාදනයට අන්තර්ගතයි කියන කාරණය. ඒක ඉතා හොඳ තත්ත්වයක්. එම නිසා අපි විශ්වාස කරනව ඉදිරි යල කන්නයේදී වව්නියාව දිස්ත‍්‍රික්කයට අවශ්‍ය කරන පොහොර ප‍්‍රමාණය මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියල…”

ලකඹර රකින ගුවන් හමුදාව ලක් පොළොවේ හෙට දවස වෙනුවෙන් ද සිය කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ඉහත සඳහන් ආකාරයෙන්ය. ඒ සඳහා ගුවන් හමුදාව විසින් මේ මොහොතේ දරන වෙහෙසකර වෑයමේ ප‍්‍රතිඵලය හෙට දවසේදී මෙරට ගොවි ජනතාව විසින් භුක්ති විඳිනු ඇත. හුදු පෞද්ගලික ප‍්‍රතිලාභ ආදියෙන් තොරව හමුදාවක් ලෙස වස විස නැති රටක් නිර්මාණය කිරීම පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විසින් දරනු ලබන වෙහෙස වැඩි වැඩියෙන් අගය කළ යුතු වන්නේ එබැවින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment