ලක්දිව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිර්මාතෘ ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්

2268



 අදට යෙදී ඇති සියවැනි  ගුණ සමරුව නිමිත්තෙනි.

 උගතෙකු, වියතෙකු, අධ්‍යාපනඥයෙකු, නීති විශාරදයෙකු, දේශපාලකයෙකු හා සැබෑ දේශපේ‍්‍රමී මානව හිතවාදියෙකු වූ ලංකා පුත‍්‍ර ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්තුමන්ගේ 168 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත.

 දිවංගත වූ දිනයත් උපන් දිනයත් ජාතික වශයෙන් සිහිපත් කරන මෙරට උපත ලද ගිහි පැවිදි නායකයන් අතරින් ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ද එක් අයෙකි. වර්ගවාදයෙන් තොරව ලාංකීය ජාතිය පිළිබඳව හිතා කටයුතු කළ දෙමළ ජාතික දේශපාලඥයන් අතරින් මුල් පෙළේ නායකයෙකු වශයෙන් මෙතුමා හැඳින්වීම නිවැරදි යැයි එතුමාගේ චරිතය අධ්‍යනය කරන විට පෙනී යන කරුණකි. පොන්නම්බලම් අරුණාචලම් පරපුරෙන් මෙරටට බිහි වූ තවත් සුවිශේෂී චරිත දෙකක් හඳුනා ගත හැක. එක් අයෙකු වන්නේ එතුමාගේ සොහොයුරු ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමාය. වරක් එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති මහජන හමුවකදී මෙසේ කියා තිබුණි.

 ”මම බොරු නොකියමි, මම ලෝකයේ නොයෙක් රටවල සංචාරය කර ඇත. මට එහිදී නොයෙක් ජාතිකයන් හා ආගමිකයන් දැක ගත හැකි විය. නමුත් මා ඒ කිසිම රටකදී සිංහල ජාතිය තරම් වටිනා ජාතියක් හා බුදු දහම තරම් ශ්‍රේෂ්ඨ දහමක් නොදුටුවෙමි. ”රාමනාදන් මහතා මෙසේ පැවසුයේ සිය හැඟීම් සැබැවින්ම ප‍්‍රකාශ කරමිනි.

 අරුණාචලම් පරපුරෙන් බිහි වූ අනිත් සුවිශේෂී පුද්ගලයා වනුයේ ලෝකප‍්‍රකට විද්වතෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. මෙතුමා අරුණාචලම් මහතාගේ මාමා වූ ශ‍්‍රීමත් මුතුකුමාරස්වාමි මහතාගේ පුතණුවන් ය. කුමාරස්වාමි මහතා ලංකාවටත් මෙරට සංස්කෘතිකව සිදු කළ මෙහෙවර අති උසස් එකකි. එතුමා ලියූ ”මධ්‍යම කලා ඉතිහාසය” නමැති ග‍්‍රන්ථය එයට දෙස් දෙයි. පොන්නම්බලම් අරුණාචලම් මහතා උපන්නේ අදවන් දිනකය.

 කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ අරුණාචලම් මහතා අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයට තේරී එහි ගියේ සරසවි අධ්‍යාපනය ලැබීමට ය. ඔහු රාජකීය විද්‍යාලයෙන් සමුගන්නා විට එවකට එහි විදුහල්පති පදවිය දැරූ බාක්‍රෝෆ්ට් බෝක් මහතා පැවසුවේ තමාගේ 40 වසරක ගුරු ජීවිතයේ දී හමු වූ බුද්ධිමත්ම ශිෂ්‍යයා අරුණාචලම් බව ය.

 කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ දී සිය සහජ දක්ෂකම් පෙන්වූ අරුණාචලම් සිසුවා 1875 වසරේ දී යළිත් මව් බිමට පැමිණියේ ශාස්ත‍්‍රපති උපාධිය හිමි කරගනිමිනි. ලංකාවට පැමිණීමෙන් පසු සිවිල් සේවය සම්බන්ධව පැවැති විභාගයකට ඉදිරිපත්ව එයින් සමත් වූයේ ලංකාවේ පළමුවැනියා ලෙස ය. එයින් පසු අරුණාචලම් මහතා ලංකා රාජ්‍ය සේවයේ සිවිල් සේවයට එක්වීය. එය ද සුවිශේෂී වාර්තාවක් වූයේ සිවිල් සේවයට එක් වූ අප රටේ ප‍්‍රථම ලාංකිකයා ලෙස ය. ලංකාවේ ප‍්‍රථම ජන ලේඛනය 1901 වසරේ දී සිදු කළේ මෙතුමාගේ මෙහෙයවීමෙනි. මෙම ජන ලේඛනය මෙරට සමාජ විද්‍යාත්මකව ද සංඛ්‍යාත්මකව ද රටේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඔහු මෙම සංගණනයෙන් පසු සැකසූ අවසන් වාර්තාව සෑම අතින්ම ප‍්‍රයෝජනයට ගත හැකි වටිනා ලේඛනයක් විය.

 මෙලෙස උසස් රාජ්‍ය සේවයක් සිදු කළ මෙම ශ්‍රේෂ්ඨ ලාංකිකයා 1913 දී සිය රාජ්‍ය සේවයෙන් සමුගෙන විශ‍්‍රාම ලැබුවේ ය. විශ‍්‍රාම සුවයෙන් නිවසට වී සිටිය යුතු යැයි ඔහු සිතුවේ නැත. 60 හැවිරිදි වියේ පසු වූ මෙතුමා තමා වයසට ගොස් ඇතැයි සිතුවේ ද නැත. ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසිණි. තම මව්බිම අධිරාජ්‍යවාදී ග‍්‍රහණයෙන් මුදා ගනු පිණිස සටනට පිවිසියේ රණශූරයෙකු ලෙසය. මෙම කාලයේ සිදු වූ අවාසනාවන්ත ජාතිවාදී අරලයේදී සිංහල බෞද්ධ නායකයන්ට ඉංග‍්‍රීසි ආණ්ඩුව සලකන ම්ලේච්ඡු ආකාරය හෙළා දුටු අරුණාචලම් මහතා සිංහලයන්ට සිදු කරන අසාධාරණය පිළිබඳව අපක්ෂපාති කොමිසමක් අවශ්‍ය බව ආණ්ඩුවට දන්වා සිටියේ ය. ඔහු තමා සමග එංගලන්තයේ සරසවි අධ්‍යාපනය ලබා ලෝකයේ නොයෙක් රටවල ජීවත් වන විවිධ තරාතිරමේ නායකයන්ට ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවට ඉංග‍්‍රීසි ආණ්ඩුව සිදුකරන අසාධාරණකම් සංදේශ මගින් කියා යැව්වේ ය. ඉංග‍්‍රීසි නිලධාරීන් හා තර්ක විතර්ක කරමින් වාග් ප‍්‍රහාරයේ යෙදෙමින් ජන කොටසක් හිතුවක්කාර ලෙස තලා පෙලා දැමීම හෙළා දැක්කේ ය.

 මේ රටේ යළි ස්වරාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය බව සියලූ ජාතින්ටත් ඉංග‍්‍රීසි ආණ්ඩුවටත් අවධාරණය කළේ ය. මෙතුමා ඇතුළු අනෙකුත් නායකයන් ගෙන ගිය මෙම වැඩපිළිවෙළ නිසා එවකට සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා ධූරයෙන් පහකර වෙනත් අයෙකු පත් කිරීමට එංගලන්ත ආණ්ඩුවට සිදු විය. මේ තත්ත්වය එකල සිටි සියලූම ජාති විශේෂීන්ට විශාල ශක්තියක් විය. ඒ අනුව 1917 වසරේ මැයි මාසයේ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ප‍්‍රතිසංස්කරණ සංගමය නමින් නව සංවිධානයක් ගොඩ නැගුවේ ය. එයට සියලූ නායකයන්ගේ සහාය නොඅඩුව ලැබිණි. එහි අරමුණ වූයේ ලංකාවට ස්වරාජ්‍යයක් දිනා ගැනීමය.

 එයින් වසර දෙකක් ගිය පසු එනම් 1919 දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පියාණන් වූ රාජ නීතීඥ ඊ. ඩබ්. ජයවර්ධන මහතාගේ යෝජනාවක් අනුව නව දේශපාලන සංවිධානයක් පුළුල්ව ගොඩ නැගීමට තීරණය කරන ලදී. එය එක්සත් ජාතික පක්ෂයේ ආදිතම නායකයන් බිහි කළ ප‍්‍රථම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික සංගමය වේ. මෙහි ප‍්‍රථම සභාපතිවරයා වශයෙන් පත් වූයේ ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ය. මෙම වසරේදීම පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකාවේ කම්කරු ජනතාවගේ උන්නතිය සඳහා නව සංවිධානයක් බිහි කළේ ය. එය ලංකාවේ ප‍්‍රථම වෘත්තිය සමිතිය ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමි.

 1918 මැයි 18 වන දින පිහිටු වූ මෙම සංගමය හැඳින්වූයේ ලංකා කම්කරු සුබසාධක සංගමය යනුවෙනි. ලංකාව තුළ විශ්වවිද්‍යාලයක් ඇරඹිය යුතු යැයි මුලින්ම යෝජනා කළේ අරුණාචලම් මහතා විසිනි. මෙම අදහස ඉදිරිපත් කළේ එතුමා රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් සිටියදී එනම්, 1906 දී තරම් ඈත අතීතයේදී ය. ඔහු ඒ සම්බන්ධයෙන් සඟරාවක් ද පවත්වාගෙන ගොස් ඇත. ඔහු කොළඹ රාජකීය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් කළ යුතු යැයි ලංකාවේ එවකට සිටි රිච්වේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ සමස්ත ලාංකීය සිසු පරපුර වෙනුවෙනි. එතුමාගේ ඉල්ලීම ඉතා බලවත් වූ හෙයින් ඉංග‍්‍රීසි ආණ්ඩුව ලංකාවට විශ්වවිද්‍යාල පීඨයක් පිරි නැමීමට එකඟ විය. ඒ නිසා ලංකාවට විශ්වවිද්‍යාලයක් ලැබිණි. එතුමාගේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය අගය කර පසු කලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැගෙන විට එහි ගොඩනැගිල්ලක් අරුණාචලම් ශාලාව ලෙස නම් කළේ මේ ශ්‍රේෂ්ඨ වීරවරයාට උපහාර වශයෙනි.

 අරුණාචලම් මහතා ලංකාවේ ඉතිහාසයට දැඩි ලෙස ගෞරව කළේ ය. ඔහු ලංකා ඉතිහාසය හැදෑරුවේ ය. ඒ අනුව ”ලංකාවේ ඉතිහාස සටහන්” නම් ග‍්‍රන්ථය සෑම සිංහලයෙකුම, දෙමළ ජාතිකයෙකුම, මුස්ලිම් ජාතිකයෙකුම කියවිය යුතු ග‍්‍රන්ථයක් ලෙස හැඳින්වීම නිවැරදි ය. උතුරේ අතළොස්සක් වර්ගවාදී ලේඛකයන් හා දේශපාලකයන් විකෘති ඉතිහාසයක් ලංකාවට ආරෝපණය කරමින් පොත් පත් ලියන යුගයක එවැනි විකෘති ඉතිහාසයක් පිළිබඳව ඇතැමුන් මැති සබයේදී පවා තම අදහස් ප‍්‍රකාශ කළ යුගයක ඔවුන්ට හරි මග දැන ගැනීමට නම් අරුණාචලම් මහතාගේ ඉතිහාස පොත් කියවිය යුතු බව සිහිපත් කිරීම යුගයේ අවශ්‍යතාවකි. හින්දු ආගම භක්තිමත්ව ඇදහූ එතුමා නිවැරදි ඉතිහාසයක් ලිව්වේ බෞද්ධාගම වැළඳගෙන බෞද්ධයෙකු වශයෙන් සිටිමින් නොවීම තවත් සුවිශේෂී සිද්ධියකි.

 සිය ජීවිත ගමන රට ජාතිය හා ජාතික සමගිය වෙනුවෙන් කැප කළ මේ අද්විතීය නායකයා මීට වසර 97 කට පෙර දැයෙන් සමුගත්තේ සිය ජීවන මගේ 71 වන විය පසු කරද්දී ය. ඉන්දියාවේ හින්දු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම සඳහා ගිය මොහොතක එහි දී අසනීප වූ ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා 1924 ජනවාරි 09 වන දින ජීවිතයෙන් සමු ගත්තේ අනියත දහම ලොවට පසක් කරමිනි. එතුමාගේ අභාවයෙන් පසු වසර ගණනකට පසු එතුමාගේ ජීවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමාවක් එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ගොඩනැගිල්ල වූ වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ ප‍්‍රතිස්ථාපනය කළේ වර්ෂ 1937 මාර්තු මස 03 වෙනිදා ය. එවකට සිටි අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් විවෘත කළ මෙම ප‍්‍රතිමාව අද ද එම ස්ථානයේ ස්ථාවරව පැවතීම සතුටට කරුණකි.

ලක්දිව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිර්මාතෘ  ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්



 හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,
 සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment