ලක්මව රනින් බැබළැවූ රණවිරුවා දිනේෂ් ප්‍රියන්ත හේරත්

684

ටෝකියෝ 2020 පැරාලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක් තබමින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් පි‍්‍රයන්ත ශී‍්‍ර ලංකා නාමය ලෝකය ඉදිරියේ තැබුවේ මීට දින හතරකට උඩදීය. ශී‍්‍ර ලංකා ජාතික ගීය පැරාලිම්පික් කී‍්‍රඩා බිමේ වාදනය වූයේ ශී‍්‍ර ලංකා ජාතියට මහත් අභිමානයක් ඇති කරමිනි. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයකු කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ බිහිකළ පළමු ලෝක වාර්තාව මෙන්ම පළමු පැරාලිම්පික් රන් පදක්කම ද වූ දිනේෂ් පි‍්‍රයන්තගේ දස්කම් ඇගැයීම පිණිස රුපියල් කෝටි 5ක විශාල තෑගි මුදලක් ලබාදීමට ද කටයුතු යොදා තිබේ. එම විශිෂ්ඨ කී‍්‍රඩකයා පිළිබඳ කතාකිරීම සඳහා අපි පසුගියදා ඔහුගේ නිවසට ගොඩවුනෙමු. දිනේෂ්ගේ ආදරණීය බිරිඳ වයි. එම්. ඉසංකා මධුවන්ති (34) මහත්මිය එහිදී අප සමග මෙසේ දොඩමළු වූවාය.

”ලෝක ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කම් දිනපු දිනේෂ් ගෙදර ඇවිල්ලා කීවේ ‘මගෙ රත්තරන් මැණිකේ මම ඊළඟ මීට් එකේදි රන් පදක්කම ගන්නවාම කියලායි.’ එයාගේ සිත ශක්තිමත් නිසා ලොකු බලාපොරොත්තුවක් තියාගෙනයි හිටියේ. ගෙදර ඉද්දි දිනපතා උදේ සවස බුදුන් වඳිනවා. පත්තිනි මෑණියන් වන්දනා කරනවා. පැරා මීට් එකට යන්න කලින් ශ‍්‍රී මහ බෝධියට භාර වුණා.

කලාවැව, විජිතපුර, පලූගස්වැව ගමේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ ලොකු බංඩා මහතාට සහ වයි. එම්. කමලාවති යාපා මහත්මියට දූ දරුවන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය වයි. එම්. සුරංගනා සරෝජනි හේරත්, දෙවැනියා වයි. එම්. දිනේෂ් ප‍්‍රියන්ත හේරත්, තුනැවැනියා වයි. එම්.නිශාන්ත චන්දන හේරත්.

ලක්මව රනින් බැබළැවූ රණවිරුවා දිනේෂ් ප්‍රියන්ත හේරත්

ලොකු බංඩා මහත්මයා සේවය කළේ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ ගල්නෑව නේවාසික කාර්යාලයේය. රජරට වෙලාගත් බියකරු වකුගඩු රෝගය ආරම්භක අවදිය. මේ බියකරු රෝගයට ලොකු බංඩා මහතාත් ගොදුරු වෙනවා. හදිසියේම 1996 වර්ෂයේදි වකුගඩු රෝගය උත්සන්න වී ලොකු බංඩා මහත්මයා ආදරණීය බිරිඳත් දරු තිදෙනත් මෙලොව තනිකර ජීවිතයෙන් සමුගන්නවා.

හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් උපන්නේ 1986.07.15 ගල්නෑව රෝහලේදී. අප්පච්චි නැති වෙද්දි දිනේෂ් පුතාට අවුරුදු දහයයි වැඩිමලා දුව සුරංගනා දුව, බාලයා නිශාන්ත පුතා. පුතාලාගෙ අප්පච්චි නැති වුණාට පස්සෙ ජිවීතය කඩා වැටුණා වගේ දැනුනා. අපි තනි වුණා. ඊට පස්සෙ අපි පදිංචියට කාගම ගොවි ජනපදයේ මගේ සහෝදරයාගේ ගෙදරට ආවා. ඒ දවස් වල දරුවන් තිදෙනා හදාගන්න නොවින්ද දුකක් නැහැ. මගේ දිනේෂ් පුතා පොඩි කාලෙ ඉදලම මට හැම දෙයකටම උදව් කළා. වයසේ හැටියට නෙමේ ගොවිතැන් කටයුතුවලට උදව් කළේ’. අප්පච්චි නැති අඩුව දිනේෂ් පුතා කැපවීමෙන් කළා. පුතා ස්කෝලේ ගියේ කාගම ධාතුසේන මහ විද්‍යාලයට. ස්කෝලෙ ඇරිලා ඇවිලා කුඹුරෙ වැඩ සියල්ලම කරනවා. හැම වෙලාවෙම කීවේ අක්කටයි මල්ලිටයි උගන්වන්න ඕන කියලා. කුඹුරු හානවා, ගොයම් කපනවා, මඩවනවා, වී ඉහනවා, කොළ පාගනවා, මැඩුවම් අයින් කරනවා, බැත හුලං කරනවා. ලොකු ගොවියෙක් කරන වැඩ මගේ පුතා ඔක්කොම කළා. දවසක් දිනේෂ් පුතා මට කීවා අම්මේ, හැමදාම මෙහෙම දුක් විදින්න බැහැ. අක්කටයි මල්ලිටයි උගවන්න රස්සාවකට යන්න ඕනේ. මම හමුදාවට බැදෙනවා. අම්මා මට කැමැත්ත දෙන්න ඕනේ කියලා.

ශ‍්‍රී ලංකා මාතාවට කීර්තියක් ගෙන දුන් ලෝක ශූර දිනේෂ් ප‍්‍රියන්ත අභීත රණවිරුගේ මව වයි. එම්. කමලාවති යාප මහත්මිය එසේ දොඩමළු විය.

හමුදාවට බැදෙන්න ඕනේ කිවවේ 2004 වර්ශයේදි. එතකොට පුතාට අවුරුදු දහඅටයි. යුද්දයේ දරුණුම කාලය. මම මුලදි කැමති වුණේ නැහැ පුතා හමුදාවට බැදෙනවට. ඒත් පුතාගෙ දැඩි ඉල්ලීම නිසා මම කැමැත්ත දුන්නා. පුතා ගජබා රෙජිමේන්තුවට බැඳුනේ සාලියපුර කෑම්ප් එකේ පුහුණු කාළය ඉවර වෙලා යාපනයට යැව්වා. එක දිගට මාස හත අටක් ගෙදර ආවෙ නැහැ. මට දරාගන්න බැරි වුණා. ඒත් මම ඉවසුවා මගේ රත්තරන් පුතා අපේ රට රැකගන්න කැපවෙලා ඉන්න බව මට තේරුණා. උතුරේ ක‍්‍රියාන්විතයේ ඉද්දි පසුව ගෙදර ආවා ගියා. හමුදාවට බැදිලා අවුරුදු හතරකට පස්සෙ දිනේෂ්ගෙ නෑනා සමග විවාහා වුණා. විවාහ වෙලා මාසයක් විතර ඇති කිළිනොච්චියේ ඉදිරි ආරක්ෂක ක‍්‍රියාන්විතයේදි පුතාට වෙඩි වැදිලා වම් අත අප‍්‍රානික වුණා. දිනේෂ් පුතාගේ මගුලට දෙවැනි මනමාලයාට හිටියේ කුරුන්දන්කුලමේ ඉන්දික කියලා සෙබලෙක්. මගේ පුතා ළඟින්ම හිටිය මිතුරු සෙබලා එදා කොටි වෙඩි පහරින් මිය ගියා ඒක අපට මගේ පුතාට දරාගන්න බැරි වුණා. අදටත් ඒ ගැන දුක් වෙනවා. වෙඩි වැදිලා පුතා අනුරාධපුර වික්ටරි රෝහලේ මාස දෙකක් විතර ප‍්‍රතිකාර ලැබුවා. ඊට පස්සෙ හමුදාවෙන් ලැබුණු නිවාඩුවට ගෙදර ආවා. මගේ පුතා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්. මාසයක් විතර ගෙදර ඉදලා නැවත හමුදාවට ගියා. පුතා ක‍්‍රීඩා කටයුතුවලට දක්ෂ නිසා ආබාධිත සෙබල ක‍්‍රීඩකයකු ලෙස ගජබා රෙජිමේන්තුවේ දිගටම රඳවා ගෙන සිටියා. 2009 දී පොඩි පුතාත් හමුදාවට බැඳුනා. 2016 පැරාලිම්පික් ගිහිං ලෝකඩ පදක්කමක් දිනලා ඇවිල්ලා කීවේ මගේ රත්තරන් අම්මේ මං ඊළඟ සැරේ රන් පදක්කම ගන්නවා කියලයි. ඒ වගේම මේ සැරේ ජාපානයේ ගිහිං ලෝක ශූරයා වෙලා මට දුරකථනයෙන් කථා කරලා කීවා. ‘අම්මේ මම ලෝකයෙන්ම පළමු වැනියා වුණා කියලා’ මගේ පපුව දාලා ගියා දරාගන්න බැරි සතුටක් දැනුණා. පුතාගේ අප්පච්චි කොහේ හරි ඉඳලා මගේ රත්තරන් පුතාට ආශිර්වාද කරනවා ඇති. ජපානයේ ඉදලා ආපු ගමන් අනුරාධපුරේ උඩමළුවට ගිහිං ශ‍්‍රී මහ බෝධියට භාරය ඔප්පු කරනවා. පුතාගේ මේ ජයග‍්‍රහනයට ශක්තිය ලබා දුන් හමුදාපතිතුමාටත්, ක‍්‍රීඩා ඇමතිතුමාටත්, ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් ඇතුළු සියලූම දෙනාට අපේ පවුලේ ස්තූතිය පිරිනමනවා. දිනේෂ් ප‍්‍රියන්තගේ ආදරණීය මව සතුටු කදුළු වගුරුවමින් පැවසුවාය.

ලෝක ශූර දිනේෂ් රණවිරුවාගෙ මව අප සමග එසේ දොඩ මළු වෙද්දි දෑතට තුරුළු කරගත් කිරිකැටියකු සමග ආලින්දයට පැමිණියේ ඉසංකා මධුවන්ති (34) මහත්මියයි. දිනේෂ් ලෝක ශූරයා වෙන්න පුහුණුවෙද්දි ඔවුන්ගේ කැදැල්ලට තුන්වැනි දරුවාත් සස්දුල චනුල්‍ය හේරත් එකතු වී සිටියේය.

ලක්මව රනින් බැබළැවූ රණවිරුවා දිනේෂ් ප්‍රියන්ත හේරත්

මෙයාට තවම මාස හතරයි. අපේ‍්‍රල් මාසයේ පුතා හම්බවුනේ. දිනේෂ් මගේ ආදරණීය මහත්තයාට නිවාඩු නැහැනේ. මාස දෙකක් ගෙදර ආවේ නැහැ. හමුදාවට බැදුණු මුල් කාළයේ මාස පහ හය ගෙදර ආවේ නැහැ. අපි විවාහ වෙලා මාස හයේදි විතර එයාට වෙඩි වැදිලා අබාධිත වුණේ. එහෙම වෙලත් එයා ගජබා රෙජිමේන්තුවේ දිගටම ක‍්‍රීඩා කටයුතු කළා. එයාගේ සිත හරිම ශක්තිමත් හිතුවොත් දෙයක් කරලමයි නවතින්නේ. මමත් දිනේෂ්ගේ කැමැත්තට ඉඩ දුන්නා. එයා ආමි පැරා තරගාවලියකදීම හෙල්ල විසිකිරීමට සහ යගුලිය විසිකිරීමට පළමු වැනියා වුණා. දිනාපු කුසලාන ගොඩයි. වම් අතේ ස්නායු අබාධිතයට ප‍්‍රථිකාර ගන්න ගමන් ආසියානු පැරා තරගාවලි හැම එකකටම සහභාගි වෙලා ජයග‍්‍රහණය ලැබුවා. 2016 රියෝ ඔලිම්පික් තරගයට සහභාගි වෙලා හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඒ දිනලා ඇවිල්ලා මට කීවේ ‘මගේ රත්තරන් මැණිකේ මම ඊළඟ මීට් එකේදි රන්පදක්කමක් ගන්නවා කියලා’ එයාගේ සිත ශක්තිමත් නිසා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ. හිතුවොත් ඕනම දෙයක් එයා කරනවා. ගෙදර ඉද්දි උදේ සවස බුදුන් වදිනවා. පත්තිනි මෑණියන් වන්දනා කරනවා ගෙදර එන හැම නිවාඩුවකදීම උඩමළුට යනවා. ශ‍්‍රී මහ බෝධිය රුවන්වැලි සෑය වන්දනා කරනවා. එයා දහමට ලැදියි. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරනවා. හමුදාවෙ ඉහළ නිලධාරීන්ටත් හරියට ගරු කරනවා. පැරාලිම්පික් යන්න කලින් උඩමළුවට භාර වුණා.

2021.08.30 උදේ 7.33ට තරගය තිබුණා ලෝක වාර්තාවක් සමග රන් පදක්කම ගන්නවා අපි ටීවී එකෙන් දැක්කා. කියාගන්න බැරි සතුටක් දැනුණා. මගේ දිනේෂ් කථා කරනකම් අපි බලාගෙන හිටියේ. ලෝක ශූරයා වුන බව දැනගත් ඥාතීන් අසල්වැසියන් විශාල පිරිසක් අපේ ගෙදරට ඇවිත් හිටියා. දිනේෂ්ගේ හිත හරිම ශක්තිමත් මමත් ධෛර්යය දුන්නා. එයා හිතන ඕනම ඉලක්කයකට යනවා. කොච්චර ක‍්‍රීඩා කළත් නිවාඩුවට ගමේ ඇවිල්ලා කුඹුරු වැඩත් කරනවා. දවල් එදා දොලහට විතර දිනේෂ් අම්මට කතා කරලා මට කථා කළේ. ‘ඔන්න මම කියපු විදිහටම මෙඞ්ල් එක ගත්තා කීවා.’

මම අත දරුවාත් තියාගෙන ලොකු පුතයි ප‍්‍රමුද මෙනුවන් සහ මිතුනි වර්ෂා දුව තුරුලූ කරගත්තා අපි ඔක්කොම අඬනවා. සතුටු කදුළු උතුරුනවා. කථා කරගන්න බැරිව ගියා. විනාඩි කිහිපයකට පස්සෙ කථා කළා. එයා එන්නෙ ලබන හත් වැනිදා. ඉතිං එයා කැමති ආහාර පොලොස් උයලා, පරිප්පු හොද්දයි පොල්සම්බෝලයි හදලා රසට කෑම හදලා දෙනවා. ඒ වගේම ශ‍්‍රී මහ බෝධියට වුනු භාරය දීලා රුවන්වැලිසෑය වන්දනා කරනවා. පත්තිනි මෑණියන්ට වුන භාරය ඔප්පු කරලා කිරි අම්මා දානයක් දෙනවා. මගේ මහත්තයාගේ ජයග‍්‍රහනයට ආශිර්වාද කළ ජනාධිපති තුමාට, අගමැති තුමාට, විපක්ෂ නායක තුමාට, හමුදාපති තුමාට, ගජබා රෙජිමෙන්තුවේ ඉහළ නිලධාරින්ට, සෙසු හමුදා නිලධාරීන්ට සහ ලක්වැසි සියලූම දෙනාට ස්තූතිය පුද කරමින් බුදුසරණ පතනවා යැයි කදුළු වගුරුවමින් අප සමග පැවසුවා.

කැකිරාව සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment