ලක්මාල්ගේ සමුගැනීමේ සාදය පරාජයකින් කෙළවර වෙයි – දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් ඉන්දියාවට

311

දිමුත්ගෙන් තනි සටනක්

 බැංගලෝර් චින්නස්වාමි තණතීරුවේ තෙවැනි දිනයේදී ලකුණු 447ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ඉන්දීය දඟ පන්දුව ඉදිරියේ ලකුණු 208කට ඊයේ (14 වැනිදා) සීමා වී ගියේය. එ් අනුව තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී ලකුණු 238කින් දෙවැනි ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණු අතර 2-0ක් ලෙස දෙරට අතර ටෙස්ට් තරගාවලියේ ජය වෙන්කර ගැනීමටද සත්කාරකයන්ට හැකියාව ලැබිණි.

 පළමු ඉනිමේදී හිඟ වූ ලකුණු 143ද සමගින් දෙවැනි ඉනිමේදී ලකුණු 447ක ඉලක්කයක් හිමි වූ ශී‍්‍ර ලංකාව තරගයේ තෙවැනි දිනට ඊයේ තරගය ආරම්භ කරනවිටදී එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියේය. ජයග‍්‍රහණයක් හෝ පරාජයක් ලබනවා විනා විසඳුමකින් තොරව අවසන් කර ගැනීමට කිසිදු අවස්ථාවක් නොවූ මෙම තරගයේදී පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන් කැපී පෙණුන තරගයක් බවට පරිවර්තනය වී තිබිණි. එ් අනුව දෙවැනි ඉනිමේදී ආරම්භය අසාර්ථක වූ ශී‍්‍ර ලංකාවේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සම්බන්ධතාවක් එක් කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත්වූහ.

 ඉන්දීය දඟ පන්දුව ඉදිරියේ කඩුල්ලේ රැුඳී සිටීමේ අවිනිශ්චිත භාවය හඳුනාගත් කුසල් මෙන්ඩිස් ප‍්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 60කදී ලකුණු 54ක් වාර්තා කළේ හතරේ පහර 8ක්ද සමගිනි. අශ්වින්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව මෙන්ඩිස් ශී‍්‍ර ලංකා ඉනිමේ මුළු ලකුණු 97දී දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යෑමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ඉනිමට තවත් ලකුණු 8ක් පමණක් එකතු වන අතරවාරයේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා නැවත කී‍්‍රඩාගාරයට හරවා යැවීමට පිළිවෙළින් ජඬේජා සහ අශ්වින් සමත්විය.

 ලකුණු 105කට කඩුලූ 4ක් දැවී තිබියදී මැදපෙළින් මුක්කුවක් ගැසූ නිරෝෂන් දැක්වැල්ල කඩුලේ රැුඳී සිටිමින් ශී‍්‍ර ලංකා ඉනිම ගොඩදැමීමට නායකයාට සහයෝගයක් ලබා දුන්නේය. එ් අනුව දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ලකුණු 55ක් එකතු වෙද්දී ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ වාර්තා වූ හොඳම දෙවැනි ලකුණු සම්බන්ධතාවය ලෙසින් එය සටහන් විය. දික්වැල්ල පන්දු 39ක් කඩුල්ලේ රැුඳී සිටිමින් ලකුණු 12ක් ලබා සිටියදී අක්ෂා පටේල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

 කණ්ඩායමේ සගයන් එකිනෙකා කී‍්‍රඩාගාරයට යද්දී පිටියේ තනි සටනක් දියත් කළ නායක දිමුත් කරුණාරත්න ඊයේ සිය 14 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය. පන්දු 174ක් පිටියේ රැුඳී සිටි කරුණාරත්න හතරේ පහර 15කින් සිය ඉනිම සරසා ගත්තේය. ආරම්භක කඩුල්ලට පිටියට එක් වූ කරුණාරත්න හත්වැනි කඩුල්ල ලෙසින් ඊයේ දැවී යන විටදී ලකුණු 107ක් වාර්තා කිරීමට ඔහු සමත්වී සිටි අතර ශී‍්‍ර ලංකා ඉනිම මුළු ලකුණු 204ක් ලෙසින් සටහන් වී තිබිණි.

 ඉන්දීය ජයග‍්‍රහණයට බාධාවක් වී තිබූ දිමුත්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසු පන්දුවාර 3ක් තුළදී ශී‍්‍ර ලංකා ඉතිරි කඩුලූ 3 බිඳ දැමූ ඉන්දීය පන්දු යවන්නෝ ඉක්මනින් ජයග‍්‍රහණය බුක්ති විඳීමට සමත් වූහ.

 ඊයේ සිය අවසන් ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් දිවියට සමුදුන්නේය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69කට කී‍්‍රඩා කර ඇති ලක්මාල් එහිදී කඩුලූ 170ක් දවා ගැනීමට සමත්වී තිබෙන අතර ලකුණු 928ක් ලබා ගැනීමට සමත්වී තිබේ.

ලක්මාල්ගේ සමුගැනීමේ සාදය පරාජයකින් කෙළවර වෙයි - දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් ඉන්දියාවට

advertistmentadvertistment
advertistmentadvertistment