ලක්ෂපාන බලාගාරයේ විදුලි උත්පාදනයට ජලය යන මහා නළයක විශාල කාන්දුවක්

78

මේක මහා නාස්තියක් – අවට පදිංචිකරුවෝ
නිලධාරීහු නිශ්ශබ්දතාවක….

නෝටන්බ්‍රි‍ජ්, විමලසුරේන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නළයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරීමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවෝ පවසති.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයට මිටර් 300 පමණ ඉහළින් ලක්ෂපාන 6 කණුව ප්‍රදේශයෙන් මෙම ජල කාන්දුව සිදු වන බවත්, එම ජල කාන්දුව හේතුවෙන් පිට වන ජලය ලක්ෂපාන, පොකුණු ජලාශයට ගලාගෙන යන බවත් ප්‍රදේශවාසීහු කියා සිටිති.

ලක්ෂපාන බලාගාරයේ විදුලි උත්පාදනයට ජලය යන මහා නළයක විශාල කාන්දුවක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසමින් පවතින අවස්ථාවක ලක්ෂපාන ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන නළයක සිදු වන මෙම ජල කාන්දුව විශාල අපරාධයක් බව ලක්ෂපාන 6 කණුව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජලාශයට අධික බෑවුමක් සහිත ප්‍රදේශයකින් නළ පද්ධතියක් හරහා ජලය රැගෙන යන බවත්, එසේ රැගෙන යන ජලය අධික පීඩනයකින් යුක්ත නිසා දිනෙන් දින ජල කාන්දුව වැඩි වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

සිදු වන ජල කාන්දුව සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කළ බවත්, එය නතර කිරීමට බලධාරීන් මෙතෙක් පියවර නොගත් බවත් ඔවුහු පවසති. අප මේ සම්බන්ධයෙන් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියකුගෙන් කරුණු විමසීමට උත්සාහ කළද එය නිශ්ඵල විය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment