ලක්ෂ පනහක කුඩු – අයිස් – කේරළ ගංජා – මත්පෙති දැලේ

257

වලාන මධ්‍යම දුෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය රාත‍්‍රි කාලයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සහ මත් පෙති තොගයක්, ප‍්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සමග පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව එම ඒකකය පවසයි.

පානදුර, පින්වත්ත, අළුබෝමුල්ල සහ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි 22, 35,38 සහ 47 වියැති පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වාද්දුව විශාකා පාර, උපෝසථාරාම පාර සහ ආරාම පාර හන්දියේ මෙහෙයුම් සිදු කර තිබේ.

පළමු සැකකරු සතුව කේරළ ගංජා කිලෝ 2 ක් සහ මත් කරල් 5930 ක්, දෙවන සැකකරු සතුව අයිස් ග‍්‍රෑම් 50 ක්, තුන්වන සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 150 ක්ද, සිව්වන සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග‍්‍රෑම් 50 ක් සහ අයිස් ග‍්‍රෑම් 14 ක්ද සොයාගෙන ප‍්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථ දෙකක් සහ ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථනද පොලිස් භාරයට ගෙන තිබේ.

පළමු සැකකරු පින්වත්ත ප‍්‍රදේශයේ නිවෙසක් මාසිකව රුපියල් තිස්දහසක කුලී මුදලකට ලබාගෙන මල් පෝච්චි ව්‍යාපාරයක් සිදුකරන මුවාවෙන් ජාවාරම සිදුකර ඇති බවට තහවුරුව ඇතැයිද වැටලීමට එක්වූ නිලධාරීයෙක් පැවසීය. සැකකරුවන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් ප‍්‍ර.පො.ප. මහේන්ද්‍රන්, පො.ප. සම්පත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සදරුවන්, පේ‍්‍රමලාල්, ජයලත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් ජයරත්න (42520), ජයලාල් (428), කොස්තාපල්වරුන් වන සම්පත් (74313), අමිල (92905), ජීවන් (80182) සහ ජයසිංහ (97725) යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක පිරිසක් වැටලීමට එක්වූහ. පො.කො. ඉන්දික (75056) යන නිලධාරියාගේ තොරතුරකට අනුව උ.පො.ප. බණ්ඩාරනායක, පො.සැ. සම්පත් (34950), පො.කො. වරුන් වන කුමාර (80982), විජේරත්න (409), සංජීව (91287) සහ බණ්ඩාර (96503) යන නිලධාරීන්ගේ ආවේක්‍ෂණ රාජකාරිවලින් පසු මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇතයිද පොලිසිය කියයි.

ආර්.ඒ.එස්.පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment