ලක්‍ෂ පහක් වටිනා වාලම්පුරියක් සමග ධීවරයා මාට්ටු

21

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ‘වාලම්පුරියක්’ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසකට අලෙවි කිරීමට තැත් කළ මීගමුව ප්‍රදේශයේ ධීවරයෙකු පෙරේදා (26) දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීගමුව , මහ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි , බහු දින ධීවර යාත්‍රා හිමි ධීවර කාර්මිකයෙකි.

ඔහුගේ බහු දින ධීවර යාත්‍රාවක ඇන්ජිම ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා ඔහු සතු ලොරි රථයක පොත උකසට තබා මුදල් ලබා ගෙන තිබේ . ඒ අතර ඔහුගේ ධීවර කාර්මික වෘත්තිය ද අඩපණ වීම නිසා අවුරුදු 04 ක් පමණ ඔහු සන්තකයේ පැවැති මෙම ‘වාලම්පුරිය’ අලෙවි කිරීමට මොහු උත්සාහ කර තිබේ .

කටුනායක පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත, මෙම වාලම්පුරිය මිලදී ගන්නා මුවාවෙන් , මෙම ධීවර කාර්මිකයා කටුනායක , 18 කණුව මංසන්ධිය වෙත කැඳවා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් වාලම්පුරියෙහි දිග සෙන්ටි මීටර් 37ක් වන අතර එහි බදකොටසෙහි විශ්කම්භය සෙන්ටි මීටර් 40කි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ද සහාය හිමි වී තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහම් මාරසිංහ , උප පොලිස් පරීක්ෂකවරුන් වන මොහොමඩ් නිෂ්මි , ප්‍රියදර්ශන , පොලිස් සැරයන් (37371) සුනිල් , පොලිස් කොස්තාපල්වරුන් වන (37627) කුමාර සහ (10167) සඳමාල් යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

මෙසේ අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයා සහ ඔහු සන්තකයේ පැවැති වාලම්පුරිය ඊයේ (27) දින මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment