ලක්ෂ 200ක අල්ලස – කුසුම්දාසගේ-පියදාසගේ පෙත්සම නිෂ්ප්‍රභයි – දඬුවම ස්ථිරයි

292

රුපියල් ලක්ෂ 200ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධි චෝදනාවලට වරදකරුවන් කරමින් බස්නාහිර පළාත්බද පළමු ස්ථිර මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන විත්තිකරුවන් ගොනු කර තිබුණු අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11 දා) නිෂ්ප්‍රභ කර දඬුවම ස්ථිර කරන ලදී.

පළමු ස්ථිර මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් එම විත්තිකරුවන්ට නිම කළ තිබූ සිරදඬුවම් ඇතුළු දණ්ඩ නියෝගයන් තහවුරු කළ විජිත මලල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය, පී. පද්මන් සූරසේන, එස්. තුරෛයිරාජා හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඬුල්ල ඒකමතිකව එම නියෝගය නිකුත් කළහ.

රටේ ඉහළ තනතුරුවලට පත් වන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පහළ නිලධාරීන්ට ආදර්ශයක් වන අයුරින් දූෂණ හා අක්‍රමිකතාවලින් තොරව යහපත් ආකාරයෙන් එම තනතුරු දැරිය යුතු බවත් එසේ නොවන විට මෙවැනි ඵල විපාකවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි බවත් එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා පැවසී ය.

උගත් විනිසුරු මඬුල්ල විසින් විත්තිකරුවන්ට එම දඬුවම් නියම කර ඇත්තේ ඉදිරිපත් වූ සියලු සාක්ෂි මනාව අධ්‍යයනය කිරීමෙන් පසුව බව තම අධිකරණයට වැටහෙන බැවින් එම නියෝග අවලංගු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය. එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාග කළ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල 2020 දෙසැම්බර් 19 දා තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.

පළමු විත්තිකාර කුසුම්දාස මහනාමට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයක් ද, අල්ලස් ලෙස ලබාගත් මුදලේ වටිනාකමට සරිලන මුදලක් එනම් රුපියල් ලක්ෂ 200ක වන්දියක් රජයට ගෙවන ලෙසට ද නියෝග කර තිබිණි.

බරපතළ වැඩසහිත වසර දොළහක සිරදඬුවමක් හා රුපියල් 65,000ක දඩයක් දෙවන විත්තිකාර පියදාස දිසානායකට එදින නියම කොට තිබිණි.

කන්තලේ සීනි සමාගම සතුව තිබුණු ගොඩනැඟිලි හා යකඩ අබලි ද්‍රව්‍ය පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා 2018 පෙබරවාරි 27 දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් රථ ගාලේ දී ශ්‍රී ලංකා සුගර් සමාගමේ ප්‍රධානී ඉන්දියානු ජාතික කේ. ඔප්පයියා නඩරාජා නමැත්තාගෙන් එම අල්ලස ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් කණ්ඩායමක් එම වැටලීම සිදු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේ ය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment