ලක්‍ෂ 29 ක ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනවා

60

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න

පවුල් ලක්ෂ පහළොවකට ආහාර සුරක්ෂිතතාවක් නෑ


ආහාර සුරක්ෂිතභාවයක් නැති පවුල් සංඛ්‍යාව මේ වසරේ මුල සංඛ්‍යාලේඛන මෙන් තුන් හතර ගුණයකින් මේ වනවිට වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (8 දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

පවුල් ලක්ෂ 15 කට ආහාර සුරක්ෂිතතාවක් නෑ. ලක්ෂ 29ක ජනතාව දරිද්‍රතාවයෙන් ඉන්නවා. වාර්තාවට අනුව මේගොල්ලෝ මේ සංගණනය කරලා ඉදිරිපත් කරන භයානකකම තමයි දරුණු මන්දපෝෂණ සංඛ්‍යාව මාස 3 කදී දෙගුණයක් වෙනවා කියන එක. එය පනස් හතරදහසක් බවට පත්වීම නිසා ජනාධිපතිවරයා දෙනු ලබන මේ පෝෂණ මල්ල මදි වෙනවා. මොකද 2021 මේ සංගණනය කරනකොට ආර්ථික අර්බුදයක් තිබුණේ නෑ. ඊට පෙර තමයි මේ දත්ත තියෙන්නේ. මේ නිසා දරුවන්ගේ වර්ධනය හීන වෙනවා. පොඩි දරුවන්ට බොහෝ රෝග ඇතිවීම වැඩි වෙනවා. ගැබිනි මව්වරුන් මෙන්ම වැඩිමහල් අයට විශාල බලපෑමක් මේ තුළින් ඇති වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථ හීනවීම නිසා නොයෙකුත් රෝග ඇති වෙනවා.

2022 ජූනි ලෝක ආහාර වැඩසටහන යටතේ තවත් සංගණනයක් කළා. ඒකෙ වාර්තාවෙ තියෙනවා 28%ක් පවුල්වලට ආහාර සුරක්ෂිතතාවයක් නෑ, එය ලක්ෂ හැට දෙකක් කියලා. 2021 වාර්තාව කියන්නේ ආර්ථික අර්බුදයට පෙර කරපු සංගණනයේ ඉන්නේ ආහාර සුරක්ෂිතතාව නැති පවුල් ලක්ෂ පහළොවයි. එය ලෝක ආහාර වැඩසටහන අනුව ලක්ෂ හැට දෙකක් බවට පත්වෙලා තියෙනවා. හතර ගුණයකින් වැඩි වෙලා මේ අවුරුද්ද වෙනකොට.

ජපානයේ හොඳ පෝෂණ බිස්කට් එකක් තියෙනවා. හාල්වලින් හදන්නේ. ඒ අයත් එක්ක කතා කරලා එම බිස්කට් නිෂ්පාදනය ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ අංගයක් විදියට ගෙනාවා. මොකද දරුවන් ඒ බිස්කට් එකට ආසයි. රසයි. එය හාල්වලින් හදන බිස්කට් එකක්. ඒකත් දරුවන්ට නිකුත් කරන්න අපි කටයුතු කළා. ඒ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා. ඒ සියල්ල දැන් නැවතිලා. මේ අනුව අපේ රජය ලබාදුන්නා හැම ගැබිනි මවකටම පෝෂණ මල්ලක්. එය රුපියල් විසිදාහක් වටිනවා. පෝෂණ අංශය මගින් තීන්දු කරපු බඩුමල්ලක්. ගැබිනි මවගේ පෝෂණය රැකගන්න එම වැඩසටහන් අද නැවතිලා. දැන් මොකක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කරලා තියෙන්නේ. එකක් කියනවා ලක්ෂ 15 ක් පවුල්වලට පෝෂණ මල්ලක් ලබාදෙනවා කියලා. එහි මිල ගණන් දාලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව ගැබිනි හැම මවකටම පෝෂණ මල්ලක් දෙනවා කියනවා. අපි නතර කරපු එක නැවත ආරම්භ කරන්න කියලා කියන්නේ.

අද රෝහල්වල ඖෂධ නෑ. ශල්‍ය උපකරණ නෑ. සමහර වෛද්‍ය විශේෂඥවරු හවසට පුද්ගලික රෝහල්වල වීසි කරන ඒවා හෝ ගෙනල්ලා හෝදලා රජයේ රෝහලේ පාවිච්චි කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment