ලක්‍ෂ 320 ක මත්ද්‍රව්‍ය පාර්සල් 8 ක්  ගුවන් තැපෑලෙන් ලංකාවට එවලා

99

රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් (මිලියන 32 ක්) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී, එහි ආවේක්ෂණ රාජකාරීවල නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් 24 දා අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

බි‍්‍රතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ මහනුවර ප‍්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් වෙත පාර්සල් 08 ක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබුණි. මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී එම ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු විය.

ඒ අනුව මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර එම පාර්සල් තුළ ‘‘කුෂ්” නමැති ගංජා මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 590 ක් සහ මෙතැම්පටමයින් නැතහොත් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය පෙති 601 ක්ද තිබී සොයාගෙන තිබුණි.

මෙම සොයා ගැනීම් සඳහා තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන්ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සහාය දැක්වීය. පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment