ලක්‍ෂ 35 ක මනුස්සකම: නැතිවුණු ලක්‍ෂ 35 ක් නැවත අයිතිකාරයට බාරදුන් රණවිරුවෙක් !

134

රුපියල් ශත ජීවිතය කරගෙන ඒ වෙනුවෙන් ජීවිත පවා විනාශ කර දමන සමාජයක මුදලට වඩා මිනිසත්කම වටිනා බව අපූරුවට පෙන්වා දුන් විශ්‍රාමික රණවිරුවකු පසුගිය දා සමාජයටම වටිනා ආදර්ශයක් ලබා දුන්නේය. ගුවන් හමුදාවේ සේවය කළ සෙබළකු වන ප්‍රතාප් රණසිංහ සමාජයට පෙන්වා දුන්නේ මිනිසත්කමින් පිරුණ මිනිසුන් තවමත් මේ සමාජය තුළ සිටිනා බව යන උතුම් පණිවිඩයයි.

ප්‍රතාප් රණසිංහගේ ගම උඩුගම්පලය. ගුවන් හමුදාවේ වසර දොළහක සේවය නිමවී ඉන් ඉවත් වීමෙන් පසුව පවුලේ තිබෙන අගහිඟකම් හේතුවෙන් ඔහු රැකියාවක් සඳහා රුමේනියාවට යෑමට තීරණය කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර ය. ඒ සඳහා ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකින් පිටත්ව යාමට කටයුතු කෙරිණි. ඒ අනුව මීට සති දෙකකට පමණ පෙර අදාළ ලියකියවිලි එම ආයතනයට ලබාදීමෙන් පසු ඉකුත් 30 වැනි දින නැවතත් ආයතනයට පැමිණීමට දැනුම් දී තිබිණි. ඒ අනුව ඔහු එදින උදෑසනම නිවසෙන් පිටත් විය. ප්‍රතාප් රණසිංහගේ විදේශගතවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට කටයුතු කිරීමට ඔහු පවුලේ අය සමග සාකච්ඡා කොට තීරණය කර තිබුණේ පදිංචි නිවස සහිත ඉඩම උකස් කිරීමටය. ඊට අදාළ කටයුතු ද ඔහු සකස් කර තිබිණි. ඔහු එදින වෙන්නප්පුව නගරයට පැමිණෙන විට උදෑසන 8 පමණ විය. අදාළ රැකියා ආයතනයට යෑමට පෙර ඔහු උදෑසන ආහාර ගැනීමට නගරයේ පිහිටි හෝටලයක් වෙත ගියේය. ඔහු ආහාර ගත් ස්ථානයේ මේසය මත බෑගයක් ද තිබූ අතර එය හෝටලයේ ආහාර ගන්නා අයෙකුගේ සිතා මදක් එහාට කර තම අවශ්‍යතාව ඉටු කර ගත්තේය. අනතුරුව ආහාර ගෙන ඉන් පිටත්ව යෑමේදී හෝටලයේ සේවකයකු ඔහුගේ බෑගය යැයි සිතා එය ඔහු වෙත ලබා දුන්නේය. ඔහු තමාගේ නොවන බවත් ප්‍රකාශ කර එහි අයිතිකරුගේ අනන්‍යතාවය සොයා ගැනීමට හැකි වේ යැයි සිතා එය විවෘත කර බැලීය. එහිදී ඔහුට දැකගත හැකි වූයේ රුපියල් පන්දහසේ නෝට්ටු ගණනාවක් මිටි වශයෙන් බැඳ බෑගයේ තිබෙන බවයි.

පසුව එම හෝටලයේ අයගෙන් විමසුවද එහි අයිතිකරුවන් ඉදිරිපත් නොවූ හෙයින්, බෑගයේ මුදල් තිබෙන බව පවසා ඔහු එම බෑගය අමතක වී ගිය කෙනෙක් නැවත පැමිණේ යැයි පවසමින් හෝටලය වෙත භාර දීමට කටයුතු කළේය. පසුව ඔහු අවශ්‍යතාව ඉටු කර ගැනීමට විදේශ රැකියා ආයතන වෙත ගොස් එහි කටයුතු නිමකර නැවතත් එම බෑගය අයිතිකරුට ලබා දුන්නේදැයි විපරම් කර බැලීමට එම හෝටලයට ගිය පසු බෑගය හෝටලයේ කැෂියර්ගේ මේසය මත තිබෙනු දුටුවේය. පසුව ඔහු මෙතරම් විශාල මුදලක් එසේ තිබීම සුදුසු නොවන බව වටහාගෙන කෙසේ හෝ අයිතිකරුට ලබාදීමේ අරමුණින් වෙන්නප්පුව පොලිසියට සිද්ධිය පවසමින් දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කළේය.

අනතුරුව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශන සිදු කරන අතරතුරදී මුදල් බෑගයේ අයිතිකරු බෑගය අමතක වූ බව පවසා එම හෝටලයට පැමිණ තිබේ. පසුව හෝටලයේ හිමිකරු විසින් වෙන්නප්පුව පොලිසියට මුදල් බෑගය භාර දුන් බව පැවසීය.

බෑගය අමතක කර දමා ගිය අය හලාවත ඉරණවිල ප්‍රදේශයේ බහු දින ධීවර යාත්‍රා හිමියෙකි. 30 වැනි දින උදෑසන ඔහු සිය ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා ගැනීමට මීගමුව නගරයට පැමිණෙන අවස්ථාවේ වෙන්නප්පුව නගරයේ හෝටලයකින් උදෑසන ආහාරය ගෙන පිටත්ව ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ තිස්පහක් දමා තිබූ සිය මුදල් බෑගයද අමතක කර දමාය.

වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෙබළ ප්‍රතාප් රණසිංහ මහතා විසින් ධීවර යාත්‍රා හිමියාට අදාළ මුදල් බෑගය ලබා දීමට කටයුතු කළේය.

ගුවන් හමුදා සෙබළ ප්‍රතාප් රණසිංහ මහතා විදෙස්ගතවීමට තම ඉඩම උකස් තැබීමට සැලසුම් කර මෙසේ මුදල් අවශ්‍යතාවයක් තිබියදීත් මෙම සත්කාරය කිරීම ගැන පොලිසිය විශේෂ ස්තුතියක් ඔහුට පිරිනැමීය.

අමරනන්ද
විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment