ලක්ෂ 40කට විකුණන්න හැදූ වළගම්බා අසිපත

445

නිධානයක තිබී සොයාගත් බව සැකකරුවෝ පාපොච්චාරණය කරති

නිධන් හොරකම පිළිබඳ වීඩියෝ දර්ශන කිහිපයකුත් එලියට

මීට සති කිහිපයකට පෙර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතාගේ දුරකථනයට ලැබෙන එක්තරා දුරකථන ඇමතුමකි. පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් එම දුරකථන ඇමතුමෙන් වැඩිදුරටත් කියවෙන්නේ කලක් මෙරට පාලකයාව සිටි වළගම්බා රජුට අයත් රාජකීය අසිපතක් බවට අනුමාන කරන ඉපැරණි පුරාවස්තුවක් කිසියම් පිරිසක් විසින් හොර රහසේ අලෙවි කිරීමේ සූදානමක් පවතින බවත් තමන් විසින් ලබාදෙන තොරතුරු ඔස්සේ ඒ පිළිබඳව වැඩිදුරටත් විමර්ශනයක් සිදු කිරීම තුළ එම ජාවාරමේ නිරත පුද්ගලයන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බවක්ය.

එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මනා පලපුරුද්දක් සහිත ඒකකයක් වන වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා තමන් වෙත ලැබුණු තොරතුරු පිළිබඳ විමසිලිමත් වෙමින් ඒ බව ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා හට එම තොරතුරු ලබා දෙමින් සඳහන් කර සිටින්නේ ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර එහි යම් සත්‍යතාවක් පවතීනම් වහාම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසය.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් තොරතුරු ලබාදුන් පුද්ගලයා හා සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුරටත් සොයා බලන අතර එහිදී ඔවුන් අනාවරණය කර ගන්නේ විකිණීමට නියමිත කඩුව වළගම්බා රජුට අයත්ව තිබූ රාජකීය අසිපතක් බවට අනුමාන කරන බවත් එයට ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 60 ක මිලක් නියම කර ඇති බවත්ය. වැඩිදුරටත් අනාවරණය කර ගත් එම තොරතුරු ඔස්සේ ඉකුත් විසිඑක් වන දින නිලධාරීන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ඒකකයේ සිට
බලංගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශය බලා ගමන් කරන අතර ඔවුන් එලෙස ගමන් කරනු ලබන්නේ ඔත්තුකරු විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ යමින්ය. ඔත්තුකරු විසින් වැඩිදුරටත් ලබා දෙන තොරතුරු ඔස්සේ සමනල වැව පඹහින්න ප්‍රදේශය දක්වා ගමන් කරන නිලධාරීන් පිරිස මෙහෙයුම සාර්ථක කරගැනීම පිණිස එම ස්ථානයට ළඟා වී ඇත්තේ කණ්ඩායම් දෙකක් වශයෙන්ය. ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරියෙක් සහ තවත් අයෙක් නවීන පන්නයේ වෑන් රථයක නැගී එම ස්ථානයට ගොස් ඇති අතර අනිකුත් නිලධාරීන් පිරිස ප්‍රදේශයේ වෙනත් වෙනත් ස්ථානවල ආවේක්ෂණ රාජකාරියේ නිරතව ඇත.

නියමිත ස්ථානයට ළඟා වන මැණික් ව්‍යාපාරිකයා ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරියා ඔත්තුකරු විසින් ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් ලබා ගනිමින් සඳහන් කර ඇත්තේ විශ්වාසවන්ත මිතුරකුගේ මාර්ගයෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ පෞරාණික කඩුවක් අලෙවි කිරීමේ සූදානමක් පවතින බවට තමන් වෙත තොරතුරක් ලැබුණු බවත් තමන් ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස එවැනි පෞරාණික බඩු භාණ්ඩ මිලදී ගැනීමේ ලොකු කැමැත්තකින් පසුවන පුද්ගලයෙකු වන බවත්ය. පොලිස් නිලධාරියා එසේ සඳහන් කරමින් දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ වළගම්බා රජුගේ අසිපත යැයි සඳහන් කරමින් අදාළ ගනුදෙනුව සිදු කිරීමට සූදානමින් පසුවන සංවිධානාත්මක කණ්ඩායමේ එක්තරා සාමාජිකයෙකු වෙතය.

එහිදී දුරකථන ඇමතුම ලබා ගත් පුද්ගලයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ දුරකථන ඇමතුමක් ලබාදීම තුළ ඇති කරගන්නා දැනහැඳුනුම්කමක් එවැනි ගනුදෙනුවක් පිණිස කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් නාඳුනන පුද්ගලයකු විසින් ලබා දෙන දුරකථන ඇමතුමක් ඔස්සේ එම ගනුදෙනුව සිදු කිරීමට තමන් තුළ කිසිසේත්ම කැමැත්තක් නැති බවත්ය. උත්සාහය ආරම්භයේදීම අසාර්ථක වෙමින් පවතින බව තේරුම්ගත් වෙස්වලාගත් පොලිස් නිලධාරියා විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් ගනුදෙනුව සිදු කිරීමට අවශ්‍ය මූලික වටපිටාව ගොඩනැංවීමට කොතෙක් උත්සාහ කළද සැකකරු විසින් ඒ සියලු යෝජනාවන් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ තමන් සන්තකයේ පවතින පෞරාණික කඩුව පිළිබඳ අවසන් ගනුදෙනුව එලෙස ආවට ගියාට කළ නොහැකි දෙයක් බවත් එය විශ්වාසවන්ත ගනුදෙනුවක් බවට පත්වනතුරු කඩුව විකුණා දැමීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බව සඳහන් කරමින්ය.

ලක්ෂ 40කට විකුණන්න හැදූ වළගම්බා අසිපත
මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරින්

තම පළමු උත්සාහය අසාර්ථකව යන බව වටහා ගන්නා නිලධාරීන් පිරිස වෙනත් මාර්ගයක් ඔස්සේ නැවතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නිරත වන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව තමන් වෙත මෙම තොරතුරු ලබාදුන් ඔත්තුකරු වෙත ඇමතුමක් ලබා ගන්නා එක් නිලධාරියෙක් සඳහන් කර සිටින්නේ තම කණ්ඩායම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස දියත් කරන ලද මෙහෙයුම අසාර්ථකව යමින් පවතින බවත් අදාළ ජාවාරම සම්බන්ධව වැඩිදුරටත් යම් තොරතුරක් ඔත්තුකරු සතු වේ නම් වහාම එය තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත්ය. එහිදී ඔත්තුකරු විසින් සඳහන් කර සිටින්නේ බදුල්ලට පැමිණ තමා මුණගැසීමට හැකියාව පවතී නම් තවත් වැදගත් තොරතුරු කිහිපයක් ලබා දිය හැකි බවත් ඒ ඔස්සේ යමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩක් පවතිනු ඇතැයි තමන් තුළ විශ්වාසයක් පවතින බවත්ය.

ඒ අනුව සමනල වැව සිට බදුල්ල දක්වා ගමන් කරන පොලිස් නිලධාරීන් පිරිස එක්තරා ස්ථානයකදී ඔත්තුකරු මුණගැසෙන අතර එහිදී වෙනත් පුද්ගලයන් දෙදෙනකුගේ නම් ගම් පොලිස් නිලධාරීන් වෙත ලබා දෙන ඔත්තුකරු අදාළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස වැදගත් තොරතුරු රැසක් පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කර ඇත. ඒ අනුව නැවතත් බදුල්ලේ සිට සමනලවැව ප්‍රදේශය බලා ගමන් කරන නිලධාරීන් පිරිස පැය කිහිපයකින් අනතුරුව සැකකරු වෙත නැවත දුරකථන ඇමතුමක් ලබාදෙමින් සඳහන් කර සිටින්නේ අහවල් පුද්ගලයන්ගේ දැන හැඳුනුම්කම් මත තමන් නැවත පඹහින්න බලා පැමිණි බවත් මෙවර ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් ද රැගෙන පැමිණ ඇති බැවින් කෙසේ හෝ එදිනම එම ගනුදෙනුව සිදුකිරීම තමන් වෙත කරන මහත් උපකාරයක් කොට සලකන බවත්ය.

එම දුරකථන ඇමතුමට සවන් දෙන එක්තරා තරුණයෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් සඳහන් කර ඇත්තේ පඹහින්න ප්‍රදේශයේ එක්තරා ස්ථානයක් නම් කරමින් මැණික් ව්‍යාපාරිකයාට එම ස්ථානයට පැමිණෙන ලෙසත් ඉන් අනතුරුව ව්‍යාපාරිකයා මුණගැසීමට තමන් පැමිණෙන බවත්ය. තම දෙවන උත්සාහයේ පළමු පියවර ඒ අයුරින් සාර්ථක කරගන්නා පොලිස් නිලධාරීන් නැවත වතාවක් කණ්ඩායම් දෙකකට බෙදී පඹහින්න ප්‍රදේශයට ළඟා වන අතර එවරද ඔවුන් කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් පරිදිය. නොබෝ වේලාවක් ගත වීමත් සමග තමන් සමීපයට පැමිණෙමින් සිටින තරුණයකු දකින වෙස්වලාගත් පොලිස් නිලධාරියා තමන් අසවල් මැණික් ව්‍යාපාරිකයා යැයි සඳහන් කරමින් අදාළ තරුණයා සමග සුහද කතාබහක නිරත වී ඇති අතර රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කඩුව ලක්ෂ හතළිහක් දක්වා පහළ බසින්නේ එහිදී ඇති කරගනු ලබන තාවකාලික හිතවත්කම මත ය. මිල නියම කර ගැනීමෙන් අනතුරුව එම ස්ථානයේ රැඳී හුන් තරුණයා විසින් අතින් සංඥා කොට යමක් පැවසීමත් සමඟ තවත් තරුණයෙකු හොඳින් ආවරණය කරන ලද යමක් සහිතව ඔවුන් දෙදෙනා අසලට පැමිණ ඇති අතර මේ සියලු සිදුවීම් නිරීක්ෂණය කරන්න තවත් පිරිසක් ද ඒ අවට ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඇත. තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු විසින් හොඳින් ආවරණය කරන ලද යමක් එම ස්ථානයේදී නිරාවරණය කර පෙන්වීමක් සමග තමන්ගේ කුරුමානම සාර්ථක වූ බව තේරුම්ගත් පොලිස් නිලධාරියා යම් සංඥාවක් නිකුත් කිරීමත් සමඟ අවට රැකවල්ලා සිටි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට මොහොතෙන් කඩා පනින අතර කඩුවත් කඩුව රැගෙන ආ තරුණයන් දෙදෙනාත් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

පැය ගණනාවක් පුරා සිදුකරන ලද දීර්ඝ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සන්තකයේ පැවති පෞරාණික කඩුව පිළිබඳව වැදගත් තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කර ගැනීමට සමත් වන අතර එහිදී තරුණයන් පවසා ඇත්තේ වළගම්බා රජුට අයත් යැයි සැක කරන එම කඩුව මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් තමන් වෙත ලබා දුන් බවත් එම පුද්ගලයා සන්තකයේ නිධානයකින් ලබාගත් තවත් රන් බුදු පිළිම කිහිපයක්ම ඇති බවත්ය. ඒ අනුව සැකකරුවන් ලවා එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දෙන පොලිසිය එම බුදු පිළිම පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇතත් මඩොල්සිම පදිංචි පුද්ගලයා විසින් සඳහන් කර ඇත්තේ කඩුවේ ගනුදෙනුව නිමා කළ පසු බුදු පිළිම ගනුදෙනුව සිදු කළ හැකි බවත් එතෙක් ඒ පිළිබඳ කතා කිරීම කාලය නාස්ති කිරීමක් පමණක් වන බවත්ය.

එක ගලින් කුරුල්ලන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමේ උත්සාහය එතෙකින් නිමා කරන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඉන් අනතුරුව තරුණයන් දෙදෙනාට අයත් දුරකථන දෙක පරීක්ෂා කිරීමේදී එහි තිබූ වීඩියෝ දර්ශන කිහිපයක් තමන්ගේ නිරීක්ෂණයට ලක් කරන අතර එහිදී තරුණියන් විසින් කරන ලද ජාවාරම් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත. පොලිසිය විසින් එහිදී වැඩිදුරටත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සඳහන් කර ඇත්තේ මහියංගන පුරාවිද්‍යා රක්ෂිතයේ සිදු කළ කැණීමකින් ලබාගත් නිධානයක තිබී එම කඩුව ලබා ගෙන ඇති බවත් එම නිධානයේ තිබී තවත් පුරාවස්තු රැසක් හමුවී ඇති අතර නිධන් හෑරීමට සම්බන්ධ වෙනත් පුද්ගලයන් පිරිසක් විසින් එම පුරා වස්තූන් රැගෙන ගිය බවත්ය. ජනප්‍රවාදයේ සඳහන්ව ඇති පරිදි එම නිධානය වළගම්බා රජුගේ අසිපත සහ රාජාභරණ තැන්පත්කොට ඇති නිධානය ලෙස සලකන බැවින් සැකකරුවන් විසින් එය කොල්ලකෑමට කටයුතු කළ බව ද අත්අඩංගුවට පත් තරුණයන් විසින් පොලිසිය හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් පොලිස් භාරයට ගත් අසිපත වළගම්බා රජ සමයට අයත් එකක්දැයි සැක හැර දැන ගැනීම පිණිස අධිකරණය විසින් ලබා දුන් නියෝග මත මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භාරයට පත් කොට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමනලවැව පොලිසියට භාරදීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ව ලබන මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කොට ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්ය. පොලිස් භාරයට ගත් කඩුව අඩි 3 ක පමණ දිගකින් යුක්ත බවත් එය පස් ලෝහයෙන් නිමවා ඇති බවත් ඒ පිළිබඳව සිදුකරන ලද මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ජයලාල් (428) පොලිස් කොස්තාපල්වරුන් වන ශ්‍රියන්ත (94009) සංජීව (91287) බාලසූරිය (77090) අශාන් (39850) තිසර (80501) ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment