ලක්‍ෂ 44 ක පරිගණක 21 ක් ඉස්සූ සේවකයන් දෙදෙනාගෙන් ‘තණකොළ නෑ ගහ මුදුනේ උත්තරයක්’

545

වත්තල පොලිස් වසමට අයත් හැඳල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි ලැප්ටොප් පරිගණක යන්ත්‍ර බෙදා හරින ආයතනයකින් අතුරුදන්වූ රුපියල් හතළිස් හතර ලක්ෂ විසිපන්දහස් පන්සියයක් වටිනා යන්ත්‍ර 21 කින් 14 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී ඇත.

අදාළ ආයතනය මැයි මස තොග ගණනය කිරීමකදී මෙම පරිගණක අතුරුදන්වීම පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අදාළ ආයතනයේම බෙදාහැරීමේ කටයුතුවල නියුතුව සිටින සේවකයකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ආර්ථික අපහසුතා නිසා තමන් 2021 සැප්තැම්බර් මස සිට 2022 මැයි මස දක්වා වරින් වර රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත ලැප්ටොප් පරිගණක යන්ත්‍රය බැගින් යන්ත්‍ර 21ක්ම නිවසට රැගෙන ගිය බවත්, ඉන් එකක් තම පරිහරණය සඳහා යොදා ගෙන තුනක් තම මිතුරන් වෙත රුපියල් 50000 – 80000 අතර මුදලකට විකිණූ බවත් එම සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත.

ඉතිරි 17 දුරකථන අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයකට විකුණා ඇති අතර ඒවා නැවත විකිණීම සඳහා මිලදීගත් පුද්ගලයාද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉකුත් 17 දා පස්වරුවේදී වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු අගෝස්තු 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර අනෙක් සැකකරු රුපියල් පන්ලක්ෂයක ශරීර ඇපමත මුදා හැර ඇත.

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස් විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment