ලක්ෂ 60 ක් වියදම් කර හැදූ කරවල නිෂ්පාදන ගම්මානයෙන් කරවල කෑල්ලක්වත් සකසා නැහැ

385

කල්පිටිය කන්දකුලිය වෙරළ තීරයට ආසන්නයේ ඉදිකළ සෞභාග්‍යා කරවල නිෂ්පාදන ගම්මානය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන විනාශ වීමට ඉඩහැර ඇති බව ධීවරයෝ පවසති. රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් වැය කරමින් 2021 වසරේදී සමෘද්ධි අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ කල්පිටිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය මැදිහත් වී මෙම කරවල නිෂ්පාදන ගම්මානය ආරම්භ කර ඇත.

ප්‍රතිලාභින් 20 දෙනෙකු සඳහා මෙම කරවල නිෂ්පාදන ගම්මානය තුළ කරවල නිෂ්පාදනය සඳහා යොමු වීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබේ. මෙම කරවල නිෂ්පාදන ගම්මානයේ මේ වනවිටත් කිසිදු ලෙසකින් කරවල නිෂ්පාදනයක් සිදුනොවන බව ජනතාව කියති. මෙම කරවල නිෂ්පාදන ගම්මානය ඉදි කිරීමට පෙර කරවල සඳහා අවශ්‍ය මසුන් ලබාගැනීම සිදුකරන ආකාරය නිසි ලෙස අධ්‍යයනය නො කිරීම මෙම තත්ත්වයට හේතුව බව කන්දකුලිය ධීවරයන් පවසති. කරවල නිෂ්පාදන මධ්‍යස්ථානය ඉදිකළ ද තවමත් මෙම ස්ථානයට යටිතල පහසුකම් රැසක් අහිමි වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම ස්ථානයට විදුලිය, ජලය හා කරවල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දෑ ආරක්ෂා කර ගැනීමට ගබඩා කාමරයක් පවා මේ වනවිටත් ලබා දී නැති බව කියයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ කන්දකුලිය ධීවරයකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා…

“ඇත්තට ම පුදුම අපරාධයක් මේ කරලා තියෙන්නේ. ලක්ෂ හැට හෑත්තෑවක් වියදම් කරලා කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. කන්දකුලිය ධීවයන් අරන් එන මාළු මදි මේ කරවල ගම්මානයට දෙන්න. එහෙම තියෙද්දී තමා මේ සැලසුමක් නැති වැඩක් කරලා තියෙන්නේ.

කන්දකුලිය නොයෙල් ප්‍රනාන්දු මහතා …

“කරවල තියා දැන් මාළුත් හිඟ කාලයක්. විවිධ ප්‍රශ්න හමුවේ මේ ව්‍යාපෘතිය අපරාධයක්. අනික මේ ගම්මානයෙ මීට කලින් උම්බලකඩ කරන්න රාජ්‍ය නොවන සංවිධානයකින් පෝරණු සකසා දුන්නා. අඩුම තරමින් ඒ සඳහාවත් මාළු ගන්න බැරි වුණා. ඒ දවස්වල එසේ තියෙන විට තමා මේ ලක්ෂ 70ක් විතර වියදම් කරලා අනව්‍ය වැඩක් කරලා තිබේන්නේ. ඇත්තට ම ව්‍යාපෘතියක් කරද්දී එය ගැළපෙනවාද කියලා සොයා බැලිය යුතුයි.

එසේම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ නිලීයන් රසිකා මහත්මිය …

“අපි මේ ව්‍යාපෘතිය පැත්තකට දාලා නැහැ. කොරෝනා කාලයක් එක්ක විවිධ ප්‍රශ්න ආවා. ඒ මදිවට ඉන්ධන ප්‍රශ්නය එක්ක ධීවරයන් මුහුදු යෑම නතර වුණා. ඒ නිසාම දැන් මාළු ලැබෙන ප්‍රමාණය මදි. කරවලවලට තියා අපිට කන්නවත් දැන් මාළු නැති තත්ත්වයක්. අනික මාළු මිල අධික වීමත් සමග කරවල කරන්න අමාරු තත්ත්වයක් උදා වුණා. නමුත් මේ තත්ත්වය පහව ගියාට පස්සේ අපි මේ කරවල සැකසුම් ගම්මාන යළි පණ ගන්න කටයුතු කරනවා.

අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment